දුම්රිය ආසන ගැටළුව 31 වැනිදායින් අවසන්.!

වෙන් කළ ආසන සහිත දුම්රිය සඳහා අනීතික ලෙස වෙන් කරවාගත් ප්‍රවේශ පත්‍ර භාවිතා කිරීමේ ගැටලුව මෙමස 31 වැනිදායින් අවසන්වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පැවසූවේ මෙමස 31වනදා දක්වා තැරව්කරුවන් හරහා ටිකට්පත් ලබාගෙන ඇති විදේශිකයන් සඳහා පමණක් දඩ මුදලක් සහිතව ගමන් කිරීම සඳහා අවසර ලබාදෙන බවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ප්‍රවේශපත්‍ර කළුකඩ මිලට අලෙවි කරන සංවිධානාත්මක පිරිසක් හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින් දැඩි ලෙස අසාධාරණයට ලක්වීම පිළිබඳ පසුගිය සමයේ විශාල සාකච්ඡාවක් ඇතිව තිබුණි.

දුම්රිය ආසන වෙන්කිරීමට අදාළ ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව මේ මස පළමු වැනිදා සිට පියවර ගත්තේ එම ගැටලු‍ව විසඳීම සඳහායි.

නව වැඩපිළිවෙළ අනුව දුම්රිය ආසන වෙන්කර ගැනීමේදී ඉල්ලු‍ම්කරුගේ හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කෙරුණි.

කෙසේ වෙතත්, මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී තවත් නව ගැටලු‍වක් නිර්මාණය වී තිබේ.

ඒ, ඇතැම් විදේශීය සංචාරකයින් නියෝජිත ආයතනවලින් ප්‍රවේශ පත්‍ර වෙන්කරවා ගැනීමේදී ඒවායේ අදාළ විදේශිකයාගේ පාස්පෝට් අංකය සඳහන් නොවීමයි.

ඒ අනුව මුදල් ගෙවා ප්‍රවේශපත්‍ර වෙන් කරවාගත් විදේශිකයන්ට එම දුම්රිය මැදිරියේ ගමන් කිරීමට අවස්ථාව හිමි නොවූ අතර ඒ වෙනුවට ඔවුන්ට තුන්වැනි පංතියේ ටිකට් පතක් අලු‍තින් මිල දී ගෙන ගමන් කිරීමට සිදුව තිබේ.

කෙසේවෙතත් එම ක්‍රමවේදය උල්ලංගණය කරමින් කටයුතු කිරීමට නැවත අවස්ථාව ලබා දී ඇති බවට ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමය චෝදනා කරයි.

එහි ප්‍රධාන ලේකම් කේ.ඩී.ඩී ප්‍රසාද් අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ තම සංගමය ඊට විරුද්ධ වන අතර මේ සඳහා නිසි පියවරක් නොගන්නේ නම් අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක නිරත වන බවයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *