ගතවූ වසර 06ක කාලය තුළ දඬුවම් කාලය අවසන්වීමට පෙර නීත්‍යානුකූල නොවන ආකාරයෙන් බන්ධනාගාරවලින් පැනගිය සිරකරුවන් 709ක් නැවත අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.
එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මෙලෙස සිරකරුවන් අත්අඩංගුවට නොගෙන නිදැල්ලේ සිටීම ආරක්ෂාව කෙරෙහි ද තර්ජනයක් වියහැකි බවය.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත්කර ඇති ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවක බන්ධනාගාර හා සම්බන්ධ නීති විරෝධී ක්‍රියා රැසක් පිළිබඳ කරුණු අනාවරණය කර තිබේ.
එම විගණන වාර්තාවට අනුව පසුගිය වසර 06ක කාලය තුළ දඬුවම් කාලය අවසන්වීමට පෙර නීත්‍යානූකූල නොවන ආකාරයෙන් බන්ධනාගාරවලින් පැනගිය හෝ මිදීගිය සිරකරුවන් හෝ සැකකරුවන් ගණන 1,181කි.
ඉන් 709 දෙනෙකු නැවත අත්අඩංගුවටගෙන නොමැති බවද මෙම විගණන වාර්තාව තුළින් හෙළිදරව් කර ඇත.
එසේම විගණනයට පාදක වූ 2025 සමාලෝචිත වර්ෂය තුළ දිවයිනේ බන්ධනාගාර 22ක් තුළින් අත්අඩංගුවටගෙන ඇති ජංගම දුරකතන ගණන 5,083කි.
ඊට අමතරව ජංගම දුරකථන බැටරි 2,432ක්, චාජර් 970ක්, සිම්පත් 4,149ක් හා වෙනත් උපාංග 3,111ක් අදාළ කාලය තුළ බන්ධනාගාර තුළින් හමුවී ඇති බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් කර ඇත.
මෙම උපකරණ රැඳවියන් අතට පත් නොවීමට විධිමත් පියවර ගතයුතු බවත්, ඒවා රැඳවියන් අතට පත්වීම හරහා නීති විරෝධී ක්‍රියාවන් සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනයවීම හේතුවෙන් මහජන ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති බවත් විගණන කාර්යාලය නිරීක්ෂණය කර ඇත.
මේ අතර අදාළ වාර්තාව මගින් තවදුරටත් පෙන්වා දී ඇත්තේ වැලිකඩ කාන්තා අංශයේ ගිය වසරේ පමණක් රැඳවියන් 825ක් රඳවා ඇති බවය.
එමෙන්ම මැගසින් සහ රිමාන්ඩ් බන්ධනාගාර ආශ්‍රිත සිරකරු සහ සැකකරු ග්‍රහණය ඉහළ යාම හේතුවෙන් පහසුකම් ද නොමැති බවත් මේ හේතුවෙන් නිලධාරීන් සහ රැඳවියන්ද දුෂ්කරතාවට පත්ව ඇති බවත් එමගින් පෙන්වා දී තිබේ.
අදාළ විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ මහර සහ වටරැක බන්ධනාගාරවල පහසුකම් තවදුරටත් වර්ධනය කර වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ සිර රැඳවියන් වටරැක බන්ධනාගාරයටත් සැකකටයුතු පිරිස් මහර බන්ධනාගාරයට මාරු කිරීමෙන් මෙම තදබදය අඩු කර ගැනීමටද හැකියාව ලැබෙනු ඇති බවය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න