විමල්ගේ මාධ්‍ය ලේකම් ඉවත්වෙයි.!

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මහතා එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් සහ තමන් දැරූ සියලුම වගකීම්වලින් ඉල්ලා අස් වී තිබේ.

ඒ මහතා ජාතික නිදහස් පෙරමුණ ආරම්භයේ සිට මේ දක්වා පුරා වසර 16ක් පක්ෂයේ මාධ්‍ය ලේකම් ධුරයෙහි ද එහි මධ්‍යම පුවත්පත වූ පංචායුධය පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ තනතුරෙහි ද කටයුතු කළේය.

1990 දශකය අග භාගයේ දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ මධ්‍යම පුවත්පත වූ ගිනිසිළුව පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ රණවාරණ මහතා පසුව එහි සම කර්තෘවරයා විය. ඒ මහතා 2008 වසරේ දී ජාතික නිදහස් පෙරමුණ හා එක්වීමට පෙර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම පුවත්පත වූ නියමුවා පුවත්පතෙහි සම කර්තෘවරයා ලෙසත් එම පක්ෂයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයා ලෙසත් වගකීම් දරන ලද අයෙකි.

ඒ මහතා මේ බව දන්වමින් ජානිපෙ මධ්‍යම කාරක සභාව වෙත යැවූ ලිපිය පහළින්…

මධ්‍යම කාරක සභාව,
ජාතික නිදහස් පෙරමුණ,
අංක 342/1/4 ,
ඊ. ඩබ්. පෙරේරා මාවත,
කෝට්ටේ පාර,
පිටකෝට්ටේ

මධ්‍යම කාරක සභාව වෙත,

පක්ෂ සාමාජිකත්වයෙන් සහ සියලු වගකීම්වලින් ඉල්ලා අස්වීම

පක්ෂ ආරම්භයේ සිට මේ දක්වා පුරා වසර 16ක් ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභිකයකු ලෙසත් මාධ්‍ය ලේකම්වරයා ලෙසත් මා දැරූ පක්ෂයේ සියලු වගකීම්වලින් ද පක්ෂ සාමාජිකත්වයෙන් ද මෙතැන් සිට ඉල්ලා අස්වන බව දැනුම් දෙම්.

මෙයට,

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
2024-12-18

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *