අරුගම්බේ ‘බිකිනි තහනම’ ගැන හොයන්න ආරක්ෂක අමාත්‍යාංශයට සහ පොලිස්පතිට බාරදෙයි.!

ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ බිකිනි තහනම් කර ඇති බවට පළවන අසත්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශයෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ පවසයි.

සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හරිමින් රජය අපහසුතාවයට පත්කිරීමට උත්සාහ කරන සංවිධානාත්මක කණ්ඩායමක් මෙය පිටුපස සිටින බවට නියෝජ්‍ය අමාත්‍යවරයා සැකකරයි.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා දැනුවත් කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බව ඔහු පවසයි.

විදේශීය සංචාරකයකු ආරුගම්බේ සංචාරක ප්‍රදේශයේ නිරුවතින් ඇවිදිමින් සිටිනු දැකීමෙන් පසුව මෙම ගැටළුව ආරම්භ විය.

මෙම සිදුවීම පදනම් කරගෙන ‘බිකිනි තහනමක්’ පිළිබඳව සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රවෘත්ති පතුරුවා හැරීම සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

බිකිනි තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඔහු තහවුරු කරයි.

මුස්ලිම් ප්‍රජාව සහ අනෙකුත් කණ්ඩායම් අතර ගැටළු ඇති කිරීමට සහ රජය අපහසුතාවට ලක්කිරීමට මෙම සමාජ මාධ්‍ය සටහන බෙදාගෙන ඇති බවට ඔහු විශ්වාස කරයි.

මෙවැනි සිදුවීම් රටේ ආර්ථිකයට සහ සංචාරක කර්මාන්තයට බරපතල ලෙස හානි කළ හැකි බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පවසයි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *