දේශබන්දු – ටිරාන් අලස්, හරක් කටාගෙන් කෝටි 30ක කප්පමක් ඉල්ලලා.!

රුපියල් කොටියක් පමණ වියදම් කර තමන්ව තංගල්ල බන්ධනාගාරයේ තබාගෙන සිටින්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස්ට සහ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට රුපියල් කොටි 30ක් නොදුන් නිසා බව මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ මහාධිකරණය වෙත අද (14) රැගෙන විත් අපසු බන්ධනාගාරයට රැගෙන යන අවස්ථාවේ මාධ්‍ය ඉදිරියේ දීය.

ඔහුට එරෙහිව ඇති නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර ‘හරක් කටා’ විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව ද කියා සිටියේය.

තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණියද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ අවශ්‍යතා අනුව බවත් වෛද්‍ය නිර්දේශ අනුව නොවන බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා යම් පුද්ගලයකුට රෝගී තත්ත්වයක් පවතින විට එහි වේදනාව දැනෙන්නේ ඔහුට පමණක් බව කියා සිටියේය.

ඒ අනුව විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා වසර ගණනාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බව පැවසුවා.

ඔහු වෙනුවෙන් ඉදිරියේදී ඇප ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් එය සලකා බැලීමට අධිකරණයට අභිමතයක් තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වාදුන්නා.

මෙහිදී කරුණු සලකා බැලූ අධිකරණය ඔහුට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියම කළේය.

ඉන් අනතුරුව නඩුව ලබන 28 වන දා කැඳවීමට නියම වුණි.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *