ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා විසින් සමෘද්ධි බැංකු සහ සමෘද්ධි ප්‍රජාමූල සමිති පිළිබඳ සොයා බලා වාර්තාකිරීමට පත්කළ ස්වාධීන විද්වත් කමිටුව සිය වාර්තාව අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබේ.
සමෘද්ධි ව්‍යාපාරය ආරම්භක යුගයේ සිට සමෘද්ධි ප්‍රජාමූල බැංකු සහ ප්‍රජාමූල සමිතිවල මූල්‍ය කටයුතු සිදුවූ ආකාරය සම්බන්ධ ගැටළු ගණනාවක් වාර්තා වී තිබීම හේතුවෙන් විධිමත් කරුණු විමසා බැලීමක් සිදුකර යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද මෙම කමිටුව බැංකු හා මූල්‍ය, මානව සම්පත් කළමනාකරණ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් හත්දෙනෙකුගෙන් සමන්විත විය.
ස්වේච්ඡා පදනමින් ක්‍රියාත්මක වූ මෙම විශේෂඥ කමිටුවට ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.ඒ. ධර්මරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු ගණකාධිකාරී පී.ඒ. විජේරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු මෙහෙයුම් අධ්‍යක්ෂ සී.ඒ. අජිත් අබේසිංහ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ යසලාල් පෙරේරා, සෙලාන් බැංකුවේ හිටපු සහකාර සමාන්‍යාධිකාරී (ණය) එම්.කේ. ප්‍රේමතිලක, සෙලාන් බැංකුවේ හිටපු නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ප්‍රියන්ත පතිරගේ මහතා සහ වෙළෙඳ කළමනාකරණ උපදේශක ශාමින්ද පෙරේරා යන අය ඇතුලත්ව සිටියහ.
මාස තුනක කාලයක් පුරා සිදුකරන ලද ක්ෂේත්‍ර හා නියැදි පරික්ෂාවකින් පසු සකස්කරන ලද අදාල වාර්තාව පසුගිය මස 11 වන දා අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා වෙත අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පිළිගැන්වූ අතර ඇමතිවරයා හා අමාත්‍යංශ නිලධාරින් වෙත වෙත වාර්තාව පිළිබඳ කමිටුවේ නියෝජිතයන් දීර්ඝ අදහස් ඉදිරිපත් කරීමක්ද සිදුකරනු ලැබීය.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේනතුව මේ වනවිට පත්ව ඇති තත්ත්වය, එම තත්ත්වයට හේතුවූ කාරණා හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විධිමත් ඵලදායී සේවාවක් ලබදීමට අනුගමනය කළ යුතු පියවර පිළිබඳ යෝජනා හා නිර්දේශ මෙම කමිටු වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති බවත් ඉදිරියේදී වඩා ඵලදායී සේවාවක් ජනතාවට ලබාදීමට මෙම නිර්දේශ ප්‍රයෝජනවත් වන බවත් ප්‍රකාශකළ ඇමතිවරයා මෙවන් භාරදූර වගකීමක් ස්වේච්ඡාවෙන් සිදුකිරීමට සිය වටිනා කාලය වෙන්කිරීම පිළිබඳව විද්වත් කමිටුවට සිය ප්‍රනාමය පුදකරන බවත් කියා සිටියේය.
කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනා හා නිර්දේශ මත පදනම්ව ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම සඳහා තමන් මේ වනවිටත් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්වෙත උපදෙස් ලබා දී ඇති බවත් වැඩිදුරටත් ඇමතිවරයා ප්‍රකාශකර සිටියේය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න