බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත්.!

බන්ධනාගාරගත රැඳවියන්ගේ දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය නැවතත් හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද ( 27) පෙරවරුවේ එක්වු අවස්ථාවේ දීය.

බන්ධනාගාරවල පවතින සිරකරුවන්ගේ තදබදය අවම කිරීම,බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව, සිරකරුවන්ගේ හා නිලධාරීන්ගේ සුභ සාධනය ඇතුළු කරුණු නිරීක්ෂණය චාරිකාවෙන් පසුව බන්ධනාගාර නිලධාරීන් සමඟපැවති සාකච්ඡාවේදී පිළිබදව අවධානය යොමු විය.

එහිදී අධිකරණ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින ගැටළු පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. සිරකරුවන්ට පවතින ගැටළු, ඔවුන්ගේ පුනරුත්ථාපන කටයුතු පිලිබදව සාකච්ඡා කරනු ලැබුවා. මරණ දඬුවම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳින රැඳවියන්ට පවතින ගැටළු පිළිබදව ඔවුන් සමඟ සාකච්ඡා කළා. ඔවුන්ගේ ගැටළු සදහා විසදුම් ලබාදීමට පවතින නීතීවලට අනුව සමාලෝචන ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරනවා. කොළඹ මැගසින් බන්ධනාගාරය තුළ සිරකරුවන්ගේ අධික තදබදයක් තිබෙනවා. එම අධික තදබදය සඳහා රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම් හා පරිපාලනමය ගැටළු බලපා තිබෙනවා. මේ ගැටළු සදහා කිසිවෙකුට දොස් පැවරන්නේ නැහැ. බන්ධනාගාර තදබදය අවම කිරීමට අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්ති තීන්දු පිලිබදව සාකච්ඡා කරනු ලැබුවා. එම තීන්දු හැකි ඉක්මනින් ගැනීමට කටයුතු කරනවා.

බන්ධනාගාර නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන පිළිබදව අවධානය යොමුව තිබෙනවා. කළුතර, ගාල්ල, බූස්ස සහ මාතර බන්ධනාගාරවල රාජකාරී සිදු කරන නිලධාරීන්ට පවතින ජීවිත තර්ජන රාජකාරී කිරීමේදී පවතින අපහසුතා සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. බාධක අපහසුතා රාශියක් මධ්‍යයේ වුවත් බන්ධනාගාර නිලධාරීන් සුවිශේෂි මෙහෙවරක් සිදු කරනවා. ඔවුන්ගේ ආරක්ෂාව පිළිබදව මෙන්ම ඔවුන්ට පවතින ගැටළු විසඳීමට උපරිම පියවර ගන්නවා.

මරණ දඬුවම් හා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විදින රැඳවියන්ගේ යහපත් කල් ක්‍රියාව, ඔවුන් සිර දඬුවම් විදින ලද කාල සීමාව, ඔවුන්ගේ පුනරුත්ථාපනය කාලය පිළිබදව සොයා බලා දඬුවම් ලිහිල් කිරීමේ සිව් වස් සමාලෝචන ක්‍රමවේදය පවතින නීතිමය ක්‍රමවේදයට අනුව අමාත්‍යාංශ මට්ටමින් නැවතත් හඳුන්වාදීමට කටයුතු කිරීමට සැලසුම් කර තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.(දිනමිණ)

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *