ඊශ්‍රායලය, ගාසා තීරයට මෙතෙක් එල්ලකළ දැවැන්තම ප්‍රහාරය එල්ලකරයි.. 200කට අධික පිරිසක් මරුට.!

සටන්විරාම එකඟතා කඩකරමින් ඊශ්‍රායලය ගාසා තීරය වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 200කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

සිය ඉලක්කය හමාස් සංවිධානය බවට ඊශ්‍රායලය පැවසුවත්, එම ප්‍රහාරවලින් දැනටත් සිවිල් වැසියන් ඇතුළු විශාල පිරිසක් මියගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය ජනවාරි 19 වැනිදා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර අත්සන් තැබූ සටන්විරාම ගිවිසුමට පසු ගාසා වෙත එල්ල වූ දැවැන්තම ප්‍රහාරය ලෙස මෙම ප්‍රහාරය ඉතිහාසයට එක්වේ.

ගාසා හි සියලුම කලාප පාහේ ඉලක්ක කරගත් මේ ප්‍රහාරවලින් වැඩිම හානි සිදුව තිබුණේ දකුණු ගාසා හි ඛාන් යුනිස් වෙත සහ උතුරු ගාසා හි ගාසා නගරය වෙතය.

ගාසා බලධාරීන්ට අනුව ප්‍රහාරවලින් මියගිය පිරිස අතරට ළමයින් ද අයත්ය.

සටන්විරාම ගිවිසුම බිඳවැටෙන ලකුණු පළකරමින් ගාසා තීරය වෙත සිදුකරන සියලුම භාණ්ඩ සැපයුම් අවහිර කිරීමට ඊශ්‍රායලය මීට සති කිහිපයකට පෙර කටයුතු කළේය.

ඒ සටන්විරාම ගිවිසුමේ පළමු අදියර තවදුරටත් දීර්ඝ කරන ලෙස බලකිරීමේ අරමුණින්.

කෙසේ නමුත් හමාස් සංවිධානය ඊට එකඟ නොවීම මුල්කරගෙන ඊළඟ සතියේ සිට ගාසා වෙත විදුලිය සැපයීමට ඊශ්‍රායලය නතර කළේ එහි ජනතාව තවත් අර්බුදයකට යොමුකරමිනි.

අනතුරුව ගාසා වෙත අතරින් පතර ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට ඊශ්‍රායලය පියවර ගත් අතර, මෙතරම් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණේ ඊයේ දිනයේදීය.

මෙහිදී ගුවන් ප්‍රහාරවලට අමතරව, දකුණුදිග ඛාන් යුනුස් වෙත යුද ටැංකි යොදා ෂෙල් ප්‍රහාර පවා එල්ල කර තිබූ බව අල්ජසීරා මාධ්‍ය වාර්තා කර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *