දක්ෂිණ අධිවේගයේ කොටසක් ප්‍රතිසංස්කරණයට කැබිනට් අනුමැතිය.!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ දොඩංගොඩ අතර 19වන කිලෝමීටරයේ සිට 34වන කිලෝමීටරය දක්වා ප්‍රදේශයේ පුළුල් පෘෂ්ඨික ඉරි තැළුම් සහ අභ්‍යන්තර ව්‍යූහාත්මක ස්ථරවල භායනයන් සිදු වී ඇති බව නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව එම මාර්ග කොටස ප්‍රතිසංස්කරණය කිරීම, පාදමේ බිඳ වැටීම් දෝෂාපහරණය සහ නව ආස්තරණයක් යෙදීම සිදුකළ යුතු බවට හඳුනාගනු ලැබ තිබේ.

ඒ සඳහා, ජාතික තරගකාරි ලංසු කැඳවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින් සුදුසුකම්ලත් දේශීය ආයතන වෙතින් ලංසු කැඳවා ඇත.

ලැබී ඇති ලංසු ඇගයීමෙන් පසු ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන මාගා ඉංජිනියරින් (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට නිර්දේශ කර තිබේ.

එම කොන්ත්‍රාත්තුව පිරිනැමීමට ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *