කෘෂිකාර්මික ව්‍යවසායකයන්ට 4%ක පොලියට ණය ලබා දීමට තීරණය කරයි.!

වසර පහක් ඇතුළත කෘෂිකාර්මික ව්‍යවසායකයින් පනස්දහසක් නිර්මාණය කිරීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගත හැකි වන පරිදි සියයට 4 අවම පොලියකට කෘෂි ව්‍යවසායකයින් වෙනුවෙන් සහනදායී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මේ ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මේ අනුමැතිය ලැබී ඇත.

2025 අයවැය යෝජනාවක් පරිදි මීට රුපියල් මිලියන 500ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ව්‍යාපෘතිය වසර 05ක කාලයක් සඳහා ක්‍රියාත්මක වන අතර, ප්‍රතිලාභියෙකුට උපරිම ණය පහසුකම වශයෙන් රුපියල් මිලියන 05ක් ලබා දීමට යෝජනා වී තිබේ. අදාළ සහනදායී ණය යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභීන්ගෙන් අය කළ යුතු පොලිය, හිඟ ණය මුදලින් වාර්ෂිකව සියයට 4 ක් වේ.

මේ ණය ලබාදෙන භෝග වර්ග ඇතුළු විස්තර ඇතුළත් චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරනු ඇති බව ‘දිවයින’ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊයේ (19) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක, ඇමැති නලින්ද ජයතිස්ස මහතා කීවේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *