රයිගම්පුර කර්මාන්ත කලාප ව්‍යාපෘතිය කඩිනම් කෙරේ.!

කාර්මීකරණය සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම සඳහා ඇනහිට තිබෙන රයිගම්පුර හරිත කර්මාන්ත කලාපය වැනි ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය උත්සාහ කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ කළුතර, මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි රයිගම්පුර හරිත කර්මාන්ත කලාපයේ වත්මන් තත්ත්වය තක්සේරු කිරීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මිල්ලනිය කාර්මික නගරය පරිසර හිතකාමී කාර්මික නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් සකස් කර ඇති අතර, ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පාරිසරික පද්ධතියේ ආරක්ෂාව, අඛණ්ඩ පැවැත්ම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා වන අයුරින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අක්කර 200ක භූමියක පැතිරුනු මෙම කර්මාන්තපුරය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති අතර පරිසර පද්ධතිය සඳහා වෙනම අක්කර 100ක් වෙන්කර ඇති බවත්, සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නේ අක්කර 87ක් පමණ වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

පළමු අදියර යටතේ අක්කර 24ක භූමි ප්‍රමාණයක සංවර්ධන කටයුතු සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 3,837ක ආයෝජනයක් සහ රැකියා අවස්ථා 1,180ක් උත්පාදනයටත් අපේක්ෂිතය.

මේ වන විට රජය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 908 ක් වැය කර ඇති අතර, 2026 වන විට අවම වශයෙන් කර්මාන්ත 24 ක් මෙම ඉඩමේ ආරම්භ කිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ කාර්මික හා අගය එකතු කළ නිෂ්පාදන ඉහළ නැංවීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වුවත් කාර්මිකකරණයට ප්‍රමාණවත් ඉඩක් නොමැතිකම මෙයට ඇති ලොකුම බාධාව බවත්, විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කර්මාන්තකරුවන් 173 දෙනෙකු අමාත්‍යාංශයෙන් ඉඩම් ඉල්ලා ඇති නමුත් දැනට බස්නාහිර පළාතේ ඇත්තේ අවම කර්මාන්ත ඉඩම් ප්‍රමාණයක් බවත් ඔහු පැවසුවේය.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස මිල්ලනිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්තපුරය වැනි මීට පෙර ඇණහිට තිබූ ව්‍යාපෘති කඩිනම් කිරීමට රජය උත්සාහ කරන බවද නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *