අත්අඩංගුවට ගන්න එද්දී ලොක්කන් පිරිසක් පලා යයි.!

සුඛෝපභෝගී මෝටර් රථ රැසක් අනීතික අයුරින් ලියාපදිංචි කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පදිංචි ස්ථාන මග හරිමින් සැඟවී ඇතැයි අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

එම දූෂිත ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සේවයට පවා වාර්තා නොකර සැඟවී සිටින බව දන්වා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පවත්වන බවද දන්වා සිටියහ.

ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචි නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික අයුරින් ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණයකට අදාළව අත්අඩංගුවට ගත් ජාඇල, උතුරු බටගම ප්‍රදේශයේ පදිංචි රෙදිපිළි ව්‍යාපාරිකයකු වන මද්දුමගේ ධනුෂ්ක නුවන් ගුණරත්න නමැති සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග වෙත ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරීහු එලෙස දන්වා සිටියහ.
ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවී ටොයෝටා වර්ගයේ ජීප් රථයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ආකාරයෙන් ලියාපදිංචි කිරීම සඳහා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ආදායම් බලපත්‍රයක් ලබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරීහු සඳහන් කළහ.

මෙවැනි ආකාරයෙන් සුඛෝපභෝගී වාහන 177 ක් අනීතික අයුරින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යන බව දන්වා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු එම විමර්ශනයට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු තිදෙනකු මීට ඉහතදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර ඇතැයි ද දන්වා සිටියහ.

මෙම සැකකරුට ඇප ලබාදුනහොත් ඉදිරි විමර්ශනවලට බලපෑම් ඇතිවිය හැකි බැවින් ඔහු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ඉල්ලා සිටි අල්ලස් කොමිසමේ නිලධාරීහු මෙම සිද්ධීන්වලට අදාළව තවත් පිරිසක් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බවද දන්වා සිටියහ.

සැකකාර ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා සිවිල් පුද්ගලයකු වන හෙයින්ද, දූෂණ විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමට හැකියාවක් නොමැති හෙයින් ද ඔහු ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය සැකකාර ව්‍යාපාරිකයා මෙම මස 8 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය.

– ඉෂාර රත්නකාර

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *