‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහනේ සමාරම්භය අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්.!

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීමේ සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළේ ප්‍රධානම වැඩසටහන වන ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන අද(04) ආරම්භකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ සවිබල ගැන්වීම් හා සමාජ ආරක්ෂණ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිණි.

එහි සමාරම්භක උත්සවය අද(04) සවස 2.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත් වේ.

ඒ ඒ ගම්මානවලට සුවිසේශී වැඩසටහන් හා සම්පත් භාවිතා රකමින් ග්‍රාමීය මට්ටමින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වන බවද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

අපේ රටේ සංවර්ධන වැඩසටහන් මෙහෙයවීමට ප්‍රගතිය විමසා බැලීමට දැනටමත් දිස්ත්‍රික් මට්ටමෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් මට්ටමෙන් ප්‍රාදේශීය ලේකම් සම්බන්ධීකරණ කමිටු තිබෙනවා. මෙම කමිටු දෙකේම රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලන අධිකාරියත් එකතු වෙලා සංවර්ධන වැඩසටහන් ප්‍රගතිය විමසා බැලීම, සංවර්ධන යෝජනා සලකා බැලීම, ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳ තීරණ ගන්නවා.

නමුත් අලුතින් මේ හඳුන්වා දෙන ව්‍යූහය තවත් පහළට ගමන් ගන්නවා. ග්‍රාම නිලධාරී වසම් දාහතර දහස් අටක් තියෙනවා. දිස්ත්‍රික් මට්ටමේත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙත් තිබෙන සන්ධාන ව්‍යුහය අපි තවදුරටත් ගමට ගෙනියලා ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් අපි ප්‍රජා සංවර්ධන සභාවක් නිර්මාණය කරනවා. ගමේ නිලධාරීනුත් ප්‍රජාවත් එකතු වෙලා මෙම ප්‍රජා සංවර්ධන සභාව නිර්මාණය කරනවා. සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකටම ග්‍රාම සංවර්ධන සැලැස්මක් පිළියෙල කළ යුතුයි. ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීමේ ආරම්භය සිදු කරන්නේ ප්‍රජා සංවර්ධන සභාව මඟින්. තම ගම කුමන ආකාරයට සංවර්ධනය වන්නේ ද යන්න තීරණය කරන්නේ ජනතාව. ඊට අවශ්‍ය මඟපෙන්වීම සහ පහසුකරණය කිරීම සඳහා රජය නිලධාරීන් සම්බන්ධ වෙනවා. ග්‍රාම සංවර්ධන සැලැස්ම සකස් කිරීම පමණක් නොවෙයි එහි ප්‍රගතිය විමසා බලන්න සහ මෙහෙයවීම ඇගයීම කියන කරුණු සියල්ලම ගමේ තිබෙන ප්‍රජා සංවර්ධන සභාවේ වගකීමක් බවට පරිවර්තනය කරනවා.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *