අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්.!

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ, එම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ප්‍රියන්ත බණ්ඩාර ඊරියගම සහ ලිපිකරුවකු වන අත්තරගම ගෙදර ධම්මික නිරෝෂන් යන අය අද (01) අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ මෙම සිද්ධියට අදාළ විමර්ශන තවදුරටත් සිදුවන බවය.

මේ ආකාරයෙන් නීති විරෝධී ලෙස වාහන 177 ක් මෙරටට ගෙන්වා නීතියට පටහැනි ලෙස ලියාපදිංචි කර තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් එම නිලධාරින් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *