තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති ආර්‍යා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි ලද තොරතුරකින් මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා මල්වතු මහනාහිමි හමුවී එවැනි පියවරක් නොගන්නා ලෙසට ජනාධිපති අනුර දිසානායකට බලපෑම් කරන්නැ’යි ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
කිසිදු දිනෙක කටඋත්තරයක් දීමටවත් පොලීසියකට ගොස් නැති සිය බිරිඳ අත්අඩංගුවට නොගන්නා ලෙස අනුර දිසානායක ජනාධිපතිවරයාට උපදෙස් ලබා දෙන ලෙසට එහිදී මහනායක හිමියන් හමුවේ හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇතැයි පැවසේ.
වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා මල්වතු පාර්ශවයේ මාහානායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් ගේ බසට කිසියම් අවනත බවක් දක්වන බවට දේශපාලන ක්ෂේත්‍රයේ පවතින විශ්වාසය මත මහින්ද රාජපක්ෂ මහානායක හිමියන් හමුවන්නට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ.
කෙසේවෙතත් එම හමුවේදී මහනායක හිමියන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද සඳහන්.
එහිදී මල්වතු මහනායක තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් විමසා ඇත්තේ, “ජනාධිපති තුමා, දූෂිතයන් අත්අඩංගුවට ගන්න කියලා පහුගිය කාලයේ බලකළ අපි කොහොමද කටක් ඇරලා අනුර ජනාධිපතිතුමාට එහෙම කියන්නේ?” යනුවෙනි.
“අපි පසුගිය කාලයේ බලයට ආපු හැම නායකයන්ගෙන්ම දිගටම ඉල්ලුවේ දූෂිතයන්ට නිසි දඬුවම් දෙන්න කියලායි. ඒත් මොන තරම් පොරොන්දු දුන්නත්, කවුරුවත්ම ඒක කළේ නෑ. වත්මන් ජනාධිපතිවරයාටත් අපි බලයට පත්වෙන්න කලින් ඉඳලම කිව්වා, බලයට ආවොත් මේ රටේ මහජන මුදල් මංකොල්ල කෑ දූෂිතයන්ට එරෙහිව දැඩි පියවර ගන්න කියලා. එතුමා ජනාධිපති වුණාට පසුවත් අප එතුමන් හමුවූ අවස්ථාවල දී මේ කාරණය අවධාරණය කළා. ඉතින් එහෙම තියෙද්දී අපි කොහොමද දැන් කටක් ඇරලා කියන්නේ වංචා දූෂණ ගැන චෝදනාවක් සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගන්න එපා කියලා?” මල්වතු මහ නාහිමියන් හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් විමසා ඇත.
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බව කියැවෙන්නේ කුප්‍රකට ‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් දැනට අලුත් වටයකින් සිදුවෙමින් පවතින විමර්ශනවල ප්‍රතිපලයක් වශයෙනි.
හිටපු ජනාධිපතිවරයා වඩාත් කලබලයට පත්ව ඇත්තේ, තමන් යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපතිවරයා වූ ශිරන්තිගේ සහෝදරයා, නිශාන්ත වික්‍රමසිංහ ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගත කිරීමට අල්ලස් කොමිසම කටයුතු කිරීමත් සමගිනි.
සැක සහිත ‘සිරිලිය සවිය’ ගිණුම ගැන මුල්ම විමර්ශන සිදුකැරුණේ 2015 වසරේ ‘යහපාලන’ ආණ්ඩුව යටතේ එවකට පැවැති පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟිනි. එවර ශිරන්ති රාජපක්ෂගෙන් කටඋත්තරයක් ගැනීමට එහි නිලධාරීන් සූදානම් වූ අවස්ථාවේ, එවකට අගමැති රනිල් වික්‍රමසිංහ දුරකතනයෙන් ඇමතු හිටපු ජනාධිපති මහින්ද ඉල්ලා සිටියේ, සිය බිරින්දෑ FCID වෙත ගෙන්වා ගැනීම වෙනුවට ඇගේ කටඋත්තරය කතානායක නිල නිවසේ දී ලබාගන්නා ලෙස ය.
එදා රනිල් සාමාන්‍ය කටඋත්තර ගැනීමේ සම්ප්‍රදායය ඉවත දමමින් මහින්දගේ ‘ඩීල්මය’ ඉල්ලීමට ඉඩදුන්නේ ය.
එවකට කතානායකවරයා වූයේ චමල් රාජපක්ෂ ය. ඒ අනුව FCID වැනි විමර්ශන ආයතනයකට නොයා, තමන්ට සුවපහසු සහ කිසියම් ආධිපත්‍යයක් ඇති ස්ථානයක සිට කටඋත්තර දීමේ වරප්‍රසාදය එදා ශිරන්තිට ලැබිණි.
අවසානයේ FCID විමර්ශන වාර්තාව නීතිපති උපදෙස් සඳහා යැවුණු අතර, එම වාර්තාවට නීතිපති දෙපාර්තමේන්තුවේ දී සිදුවූයේ මොකක්දැයි මේ වන තෙක් රහසක්ව පැවතිණි.
රනිල්ලාගේ ආණ්ඩුව යටතේ සිරිලිය විමර්ශන අන්තරස්දහන වූයේ එලෙසිනි.
මහින්ද රාජපක්ෂ විසින් මල්වතු නාහිමියන් හමුවන්නට ගොස් ඇත්තේ ඔවුන්ගෙන් ගිලිහී පාලන බලය වෙනත් පිරිසක් අතට පත්වූ පසු එවැනි ‘ඩීල්’ දමාගැනීමට හරිහමන් දොරක් තාමත් ඇරගන්නට බැරිවී ඇති බැවිනි.
මේ වනවිට අනුර දිසානායක ජනාධිපතිවරයා ඍජුව දුරකතන මාර්ගයෙන්වත් සම්බන්ධ කරගැනීමට නොහැකි තත්ත්වයකට හිටපු ජනාධිපති මහින්ද ඇතූළු පරාජිත බලවත් දේශපාලකයන් පිරිසක් මුහුණ දී සිටින බව වාර්තා වන අතර, ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ මැදිහත්වීම වඩාත් ඉක්මනින් හා වඩාත් බලපෑම් සහගත ලෙස සිදුකර ගතයුතුව ඇති බැවින් ඔහු මහානායක හිමියන් සම්බන්ධ කරගෙන ඇති බවත් දැනගන්නට ඇත.
ප්‍රතිචාරයක් ලබාදෙන්න