ඊයේ (23) ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මහාධිකරණයට දන්වා සිටියේ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ මහාධිකරණය ඉදිරියේ පවරා ඇති නඩු විභාගයක දී විත්තිකරු රෝගීව සිටි බව දක්වා අධිකරණයට ව්‍යාජ ලිපි ශීර්ෂයකින් වෛද්‍ය සහතිකයන් නිකුත් කළ වෛද්‍යවරයකු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
නඩුව කැඳවූ අවස්ථාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් පෙනී සිටි එහි නීති නිලධාරිනී උදාරී රණතුංග මහත්මිය කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙණෙවිය ඉදිරියේ මේ බව ප්‍රකාශ කර සිටියාය.
දිවයිනේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක ලිපි ශිර්ෂය අවභාවිත කර චුදිතට වෛද්‍ය සහතිකයක් නිකුත් කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස පසුගිය මාර්තු 26 දා පූර්වගාමී මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නිකුත් කළ නියෝගය අනුව මෙම කරුණු දැක්වීම නීතිඥවරිය කළාය.
වෛද්‍ය සභාව වෙනුවෙන් එහි නීති නිලධාරිනිය කරුණු දක්වමින් රුවන් පතිරණ නමැති මෙම වෛද්‍යවරයා 2010 වසරේ ජනවාරි 5 දා එස්එල්එම්සී 25363 යටතේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිව ඇති බව කියා සිටියාය. ඔහුට එරෙහිව සිය රෝහලේ ලිපි ශීර්ෂය අවභාවිත කිරීම සම්බන්ධයෙන් නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක අධ්යක්ෂවරයකු වෛද්‍ය සභාවට පැමිණිල්ලක් යොමුකර ඇති බව එම නීතිඥවරිය වැඩිදුරටත් අධිකරණයට දැන්වූවාය. අදාළ වෛද්‍යවරයා එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු නොවන බවට රෝහල පෙන්වාදී ඇත.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නීති රීතිවලට අනුව දිවුරුම් පෙත්සමක් සහිතව එම පැමිණිල්ල ඉදිරිපත්ව තිබෙන බැවින් එය විභාග කිරීමට වෛද්‍ය සභාවේ ප්‍රාථමික විනය කමිටුව තීරණය කර ඇති බව පැවසීම නීතිඥවරිය ප්‍රකාශ කළාය.
අධිකරණ නියෝග හා පැමිණිල්ලක් අනුව පරීක්ෂණයක් ආරම්භව ඇති බවට වෛද්‍ය සභාව කළ කරුණු දැක්වීම පිළිගත් අධිකරණය එම කමිටුවේ නිගමන අධිකරණයට දන්වන ලෙස නියෝග කළේය. එහි දී අදාළ වෛද්‍යවරයා විනයානුකූල පියවර ගතයුතු වරදක් කර තිබේද? එසේනම් ඔහු සම්බන්ධයෙන් වෛද්‍ය සභාව ගන්නා පියවර කුමක්ද යන්න අධිකරණයට දන්වන ලෙස මහාධිකරණ විනිසුරුවරිය නීති නිලධාරිනියට නියෝග කළාය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න