ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ සමඟ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් ‘බැකෝ සමන්’ නමැත්තාට අයත් සුඛෝපභෝගී බස් රථයකට මාර්ග බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන්, ඌව පළාත් සභාවේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු වසර ගණනාවක් තිස්සේ මාස්පතා රුපියල් ලක්ෂ තුනහමාරක අල්ලසක් ලබාගෙන ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.
මෙම බරපතල චෝදනාව සම්බන්ධයෙන් අදාළ හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත් – උතුර අපරාධ කොට්ඨාසය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම හිටපු සභාපතිවරයා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙතද වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සිද්ධියට අදාළ පසුබිම හෙළිවූයේ, ‘බැකෝ සමන්’ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ දෙකක් පසුගිය 23 වනදා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් සොයාගැනීමත් සමඟය. ඉන් එක් බස් රථයක්, රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුක්ත වන අතර, එය කටුනායක ප්‍රදේශයේ විදේශිකයන්ට ප්‍රවාහන පහසුකම් සපයන ආයතනයකට ලබාදී තිබී සොයාගෙන ඇත.
අල්ලස් ලබාදීමට අදාළ සිදුවීමට සම්බන්ධ අනෙක් බස් රථයේ වටිනාකම රුපියල් කෝටි 2.5ක් පමණ වන අතර, එය මොනරාගල – කොළඹ අතර මගී ප්‍රවාහනය සඳහා යොදවා තිබිණි. ‘බැකෝ සමන්’ විසින් මෙම බස් රථය, 2020 වසරේදී හලාවත, මාදම්පේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් ගිවිසුමක් මත මිලදී ගෙන ඇති බවටද විමර්ශන නිලධාරීන් කරුණු තහවුරු කරගෙන තිබේ.
පොලිස් විමර්ශනවලදී තවදුරටත් හෙළිවී ඇත්තේ මෙම බස් රථ දෙකම වෙනත් පුද්ගලයින්ගේ නම්වලට ලියාපදිංචි කරමින් ‘බැකෝ සමන්’ විසින් මිලදී ගෙන ඇති බවයි. කෙසේ වෙතත්, පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අදාළ බස් රථ දෙකම තමාට අයත් බවට ‘බැකෝ සමන්’ පිළිගෙන තිබේ.
කෙසේ වෙතත්, හුදෙක් මගී ප්‍රවාහනයෙන් ලැබෙන ආදායමෙන් පමණක් මාස්පතා රුපියල් ලක්ෂ 3.5ක් වැනි මුදලක් අල්ලස් ලෙස ලබාදීමේ හැකියාව පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත. එම නිසා, මෙම බස් රථය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය වැනි වෙනත් නීති විරෝධී ක්‍රියාවන් සඳහා යොදාගෙන ඇත්දැයි යන්න පිළිබඳවද මේ වන විට වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක බව වාර්තා වේ.



ප්‍රතිචාරයක් ලබාදෙන්න