නිවාස හා දේපොළ ගිනිබත්වූ ඉකුත් රජයේ මැති ඇමතිවරුන් විසින් නීතිවිරෝධී ආකාරයට රජයෙන් ලබාගෙන තිබෙන වන්දි මුදල් යළි අය කරගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළේය.
සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම නීතිඥවරයෙකු වන ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි.
මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ගෝඨාභය රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරල් කමල් ගුණරත්න, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න, හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරුන් වන ටිරාන් අලස් සහ ප්‍රසන්න රණතුංග, වත්මන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, නීතිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ 2022 වසරේ මැයි මස 09 වනදා අරගල භූමියට පහර දීමෙන් අනතුරුව ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් නිවාස හා දේපොළ විනාශ වූ හිටපු මැති ඇමතිවරුන් ඇතුළු 43 දෙනෙකුට පසුගිය රජය විසින් වන්දි ලෙස රුපියල් බිලියන 1.22 ක මුදලක් ගෙවා තිබෙන බව ඉකුත් පෙබරවාරි මස 05 වනදා අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවය.
මෙහිදී මහජන මුදල් දැඩි ලෙස අවභාවිතාවකට ලක්වී ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු, ස්වභාවික ආපදාවකදී පවා දේපළ විනාශ වීම වෙනුවෙන් එක් පුද්ගලයෙකුට ගෙවිය හැකි උපරිම වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බවද සඳහන් කරයි.
නිසි නීතිමය පටිපාටියට පරිබාහිරව මෙම ගෙවීම් සිදුකර ඇති බවත් මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.



ප්‍රතිචාරයක් ලබාදෙන්න