ජනපති සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක්.!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

මෙහිදී, රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය හේතුවෙන් මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, වසර 2030 වන විට, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ එහිදී මතුව ඇති අභියෝග පිළිබඳවද අවධානයට යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එහිදී, ප්‍රධාන අභියෝගයක්ව පවත්නා නීති සංශෝධනය කිරීමේ කාර්යය හැකි ඉක්මනින් සිදු කිරීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

දැනට ක්‍රියාත්මක වන ASYCUDA පද්ධතිය සහ එහි පවතින අඩුපාඩු, ජාතික තනි කවුළු සේවාව (National Single Window), ආනයන සහ අපනයන නිවැරදිව වාර්තාගතකරණය, බදු නිදහස් කිරීම්, ආදායම් නිවැරදිව හඳුනා ගැනීම ආදී අභියෝගවලට ඩිජිටල්කරණය මගින් ලබා ගත හැකි විසඳුම් සහ දැනට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.

එමෙන්ම, දැනට උද්ගතව ඇති විද්‍යුත් වාණිජ්‍ය (e- commerce) පිළිබඳ ගැටලුවද මෙහිදී අවධානයට ලක් වූ අතර, ඒ සඳහා පාරිභෝගිකයා මූලික කර ගත් කඩිනම් හා සාධාරණ විසඳුමක් ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *