වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරයි.
එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබූ පරිදි වාහන ආනයනය සීමා කිරිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ මහා භාණ්ඩාගාරය කසිදු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුකර නොමැති බවය.
අර්බුදකාරී තත්ත්වයකට තිබූ මෙරට ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමග වසර 5කට පසු පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනය කිරීම ඉකුත් පෙබරවාරි පළමුවනදා සිට සිදු කරනු ලැබීය.
එතැන් සිට ජුනි මාසය අවසානය දක්වා මෝටර් රථ 18,000කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ආනයනය කර තිබේ.
ඒ අතරින් අදාළ කාලසීමාව තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති මෝටර් රථ සංඛ්‍යාව 13,614කි.
ඒ අනුව ඉකුත් පෙබරවාරි මාසයේ සිට ගෙවුණු මාස 5 තුළ වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ණයවර ලිපි විවෘත කර ඇති අතර මේ වනවිට ඉන් ඩොලර් මිලියන 450ක වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර අවසන්ය.
මෙවන් පසුබිමක ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ වාහන ආනයනය සීමා කිරීම සඳහා මහබැංකුව, මහා භාණ්ඩාගාරය වෙත අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව අතර වාහන ආනයනය සම්බන්ධයෙන් කිසිඳු ලිපි හුවමාරුවක් හෝ සන්නිවේදනයක් සිදුව නොමැති බවය.
එමෙන්ම වාහන ආනයනය සීමා කිරීමට කිසිඳු උපදෙසක් හෝ නිර්දේශයක්ද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහා භාණ්ඩාගාරය වෙත ලබාදී නොමැති බව එම උසස් නිලධාරියා ප්‍රකාශ කළේය.
වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු විදේශ සංචිතවලට කිසිඳු බලපෑමක් සිදුනොවන අතර වාහන ආනයනය කරනු ලබන්නේ මෙරට වාණිජ බැංකු පද්ධතියේ පවතින ඩොලර් සංචිතවලින් බව එම උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව විදෙස් සංචිත ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් පවතින බව මහ බැංකුව පවසයි.
ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ වාහන ආනයනය කිරීමේදී මහ බැංකුව සතු ඩොලර් සංචිතවලට කිසිඳු බලපෑමක් නොමැති බවය.



ප්‍රතිචාරයක් ලබාදෙන්න