හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු අද පස්වරුවේ.!

හෙළ සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී සිදුකිරීමට නියමිතව ඇත.

අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය අද පෙරවරු 8.00ට කොළඹ 07 නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

පසුව පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසාදීමට නියමිතය.

පස්වරු 03.30ට ඇය අධ්‍යාපනය ලැබු කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ කලාකරුවන් විසින් දේහය බෞද්ධ ආගමික වතාවත් සිදුකිරීම සඳහා ඉදිකළ විශේෂ වේදිකාව වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

පස්වරු 5.45ට දේහය චිතකය වෙත රැගෙන යාම සිදුකිරීමට නියමිතය.

මේ අතර මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමගුල් උත්සවය හේතුවෙන් නිදහස් චතුරශ්‍රය අවට ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

ඒ අනුව අවමංගල්‍ය පෙරහැර හා උත්සවය වෙනුවෙන් මාර්ග වසා තැබීමක් සිදුනොකරන අතර අවමංගල්‍ය පෙරහැර රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ හන්දියේ සිට නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කිරීමේදී විනාඩි 15 ක පමණ කාලයක් සඳහා නිදහස් වටරවුම සිට නිදහස් මාවතට ඇතුළුවන රථවාහන සීමා කිරීමට නියමිත බව සඳහන් වේ.

අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන අවස්ථාවේ ඒ අවට පිහිටා ඇති නිදහස් මාවත සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරියෙන් දිවෙන ප්‍රේමකීර්ති ද අල්විස් මාවත යන මාර්ගයන්හි අවහිරතාවයක් ඇති වීමට ඉඩ ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *