කීරි සම්බා හිඟයක්?.. විසඳුමක් නැත්නම් ආදේශන ආනයනයට තීරණයක්.!

කීරි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

ඔහු පවසන්නේ ඊට විසඳුමක් නොලැබුණහොත් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.

“සහල් වෙළෙඳපොළේ ප්‍රශ්නයක් තියෙනවා නම් කීරි සම්බාවල අඩුවක් විතරයි තියෙන්නේ. ඒ අනුව ගේනවානම් ගේන්න තීරණය කරලා තියෙන්නේ කීරි සම්බා ආදේශන ප්‍රමාණයක් විතරයි.

නමුත් අපි තවම අවසන් තීරණය අරන් නෑ. මොකද මේ යල කන්නය කැපෙන නිසා. හැබැයි නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වෙනකොට කීරි සම්බා හිඟය තවදුරටත් උග්‍ර කරන්න හදනවානම් කීරි සම්බා ආදේශන ‘GR11’ කියන සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ගේන්න තීරණය අරන් තියෙනවා. එය ක්‍රියාත්මක කර නෑ.

අපි හිතනවා පොළොන්නරුවේ ගබඩාවල විතරක් මෙට්‍රික් ටොන් 85,000ක් තියෙනවා කිරී සම්බා විතරක්. ඒ ටික කොටලා මාර්කට් එකට දැම්මොත් මේක විසඳෙයි. නැතිවුනොත් අපිට කීරි සම්බා ගේන්න වෙයි.

අනෙක් සහල් ගේන්න අවශ්‍යතාවක් දැනට නෑ. මේ යල කන්නයේ වී අස්වැන්න ගිය කන්නයට වඩා වැඩිවෙලා තියෙන්නේ. වගාකළ ප්‍රමාණයත් හෙක්ටයාර 80,000කින් වැඩිවෙලා තියෙන්නේ.

ඒ නිසා සහල් මිල රුපියල් 230ට අඩුවෙන් දෙන්න සැලසුම තියෙන්නේ”

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *