අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ විමර්ශනවල නවතම ප්‍රගතිය

අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථගාලක මෝටර් රථයක සිටි නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩික්කරුවන් දෙදෙනකු විසින් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමට හැකිවූ බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (25) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙය යම් කල්ලියක් මගින් ඉතා සංවිධානාත්මකව මෙහෙය වූ අපරාධයක් බවය.

පොලීසියට ඉතාම අවම තොරතුරු තිබූ අපරාධයක් බවත්, ඔවුන් විවිධ ක්‍රම භාවිතා කරලා තිබූ බවත් ඒ මහතා පැවසීය.

“කාර් රථයකින් ඇවිත් වෙඩි තියලා ගියා” යන තොරතුර පමණක් පොලීසියට තිබූ බවත්, පියවරෙන් පියවර තිබූ කුඩා තොරතුරු වටිනා තොරතුරු බවට පත්කරගත් බවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හෙළි කළේය.

ඒ අනුව මේ වනවිට අදාළ අපරාධය සෑහෙන දුරකට විසඳාගැනීමට හැකිව ඇත.

තවදුරටත් අදහස් දැක්වූ සජීව මැදවත්ත මහතා,

“මේකට යොදාගත්තා වාහන 4ක්. ඒ හතරම අපි අත්අඩංගුවට ගත්තා. එක් වාහනයක් ගිනිතියලා තිබුණා. එය පැදවූ රියදුරු හැරෙන්න අනෙක් සියලු දෙනාම අත්අඩංගුවට ගත්තා. 

ඊයේ (25) මොනරාගලදී වෙඩික්කරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඒ අනුව වෙඩික්කරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන්ගෙන් එක් අයෙක් අත්අඩංගුවට ගන්න මහජන සහාය පැතුවා. සෑම මාධ්‍ය ආයතනයක්ම ඊට හොඳ ප්‍රචාරණයක් ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාව ලබාදුන් තොරතුරු මතයි එම සැකකරු අත්ඩංගුවට ගත්තේ. 

වෙඩික්කරු සමග තවත් දෙදෙනෙක් අඩංගුවට ගත්තා. ඔවුන් අද මොනරාගල සිට කොළඹ රැගෙන විත් ඉදිරි විමර්ශන සිදුකරනවා.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවි දෙකත් ප්‍රධාන සැකකරුත් හඳුනාගෙන තිබෙනවා” යැයි පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *