ශානිගේ පෙත්සමේදී කමල් සහ වික්‍රමරත්න වෙනුවෙන් පෙනීසිටින්න නීතිපති බෑ කියයි

සිය වැඩ තහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවෙන් පෙනීනොසිටින බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ, අදාළ පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී එම පෙත්සම කැඳවා තිබේ.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා ඇත්තේ, පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙනුවෙන් මින් ඉදිරියට නීතිපතිවරයා පෙනීනොසිටින බවයි.

ඒ අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥවරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බව විනිසුරු මඩුල්ල පෙන්වා දී ඇති අතර පෙත්සම යළි සළකා බැලීම ලබන පෙබරවාරි මස 03 වනදා තෙක් කල්තැබිණි.

2019 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ තමන්ව, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස මාරුකර, ඉන් අනතුරුව සිය වැඩතහනම් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශානි අබේසේකර මහතා විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *