දේශීය කර්මාන්තකරුවන්ට වැඩි අවස්ථාවක් ලබා දෙනවා…. ආනයනය කරන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ පමණයි – ඇමැති සුනිල් හඳුන්නෙත්ති

මෙතෙක් කාලයක් දේශපාලන සැලැස්මකට අනුව ගොඩනැගුණු කර්මාන්තපුර ඇතුළු රටේ සමස්ත කර්මාන්ත ක්ෂේත්‍රයම ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව ගොඩනංවා නිෂ්පාදන ආර්ථිකයක් බිහි කිරීමට නව රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ (28) කටුබැද්ද පිහිටි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාද එක්ව සිටි අතර අමාත්‍යවරුන්ගේ මූලික අරමුණ වූයේ කර්මාන්තකරුවන්ට පහසුකම් සපයන ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් වන කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ කටයුතු නිවැරදි දිශානතියකට යොමු කරවමින් දේශීය කර්මාන්තකරුවන්ට තම කර්මාන්ත ගොඩනැංවීම සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමයි.

මෙහිදී අමාත්‍යවරුන් ඉංජිනේරු, වාත්තු, වාත්තු මල් නිෂ්පාදන, රසායනාගාර, වැඩ බිම් ඇතුළු ආයතනයේ විවිධ අංශවල කටයුතු පිළිබඳව සොයා බැලූ අතර එම අංශවල පවතින ගැටලු ඉතා ඉක්මනින් නිරාකරණය කර කර්මාන්තකරුවන්ට අවශ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කර්මාන්ත පුර 33ක් හා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය යටතේ තවත් කර්මාන්තපුර 17 ක් ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙම කර්මාන්තපුරවලින් බොහොමයක් දේශපාලන උවමනාවන් මත ආරම්භකළ ඒවා. මෙම කර්මාන්තපුර දේශපාලන සැලැස්මකට මිස ජාතික සැලැස්මකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් බලයට පත්වූ වත්මන් රජය ජාතික කර්මාන්ත සැලැස්මකට අනුව යමින් කර්මාන්තපුර ඇතුළු රටේ අනිකුත් කර්මාන්ත ගොඩනැගීමට කටයුතු කරනවා. මෙම ජාතික සැලැස්ම යටතේ ජාතික නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් ඒ තුළින් රටේ අපනයන ආදායම වැඩිකර ගැනීමට බලාපොරොත්තු වෙනවා. දේශීයව නිෂ්පාදනය කළ හැකි සියලු දේ නිෂ්පාදනය කර අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් ආනයනය කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ” යැයි පැවසීය.

කර්මාන්තකරුවන්ගේ ගැටලු විසඳීමට කර්මාන්ත අමාත්‍යාංශය සූදානම් බවත්, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදීම පිළිබඳව සහතිකයක් කර්මාන්තකරුවන්ට ලබා දෙන අතර සියලුම රාජ්‍ය ආයතනවල ඇති අමුද්‍රව්‍ය කර්මාන්ත සංවර්ධන මණ්ඩලය හරහා කර්මාන්තකරුවන්ට ලබාදීමට පියවර ගන්නා බවත් අමාත්‍ය හදුන්නෙත්ති මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *