පසුගිය ආණ්ඩුව සමයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ‘ඊ’ විදේශ ගමන් බලපත්‍ර මිලියන 05ක් මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය පිළිබඳව ජාතික ප්‍රසම්පාදන කමිටුව විමර්ශනයක් සිදුකරන බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.
එම විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමට අදාළ ටෙන්ඩරය පිරිනමා තිබෙන ආකාරය අභියෝගයට ලක්කරමින් එපික් ලංකා පෞද්ගලික සමාගම විසින් ඉදිරිපත් කළ පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරන ලදි.
මොහොමඩ් ලෆාර් තාහීර් සහ පී. කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එය කැඳවා තිබිණි.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කියාසිටියේ, මෙම ඊ විදේශ ගමන් බලපත්‍ර මිලදී ගැනීමේ විමර්ශනයට අදාළ නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා එම කමිටුව විසින් සතියක කාලයක් ඉල්ලා ඇති බවත්, ඒ අනුව මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත්ය.
ඒ අනුව එහි විභාගය ජනවාරි මස 23 වනදා පැවැත්වීමටද අධිකරණය දින නියම කළේය.
ප්‍රතිචාරයක් ලබාදෙන්න