ජනපති සහ ලෝක බැංකු සමූහයේ සභාපති අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා අතර ඊයේ (27) ජනාධිපති කාර්යාලයේදී මාර්ගගත තාක්ෂණය ඔස්සේ පවත්වා ඇත.

නව රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ඉදිරි සංවර්ධන අභියෝග ජයගැනීමට ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ලබාදිය හැකි සහාය පිළිබඳව මෙහිදී අජේ බංගා මහතා අදහස් දක්වා ඇති අතර අධ්‍යාපන, සෞඛ්‍ය, සමාජ ආරක්ෂණය හා ආර්ථික සංවර්ධනය වැනි අංශවල නව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මූල්‍ය සහ තාක්‍ෂණික උපකාර සැපයීම කෙරෙහි ද සාකච්ඡා මෙහිදී සාකච්ඡා වී තිබේ.

ආර්ථික ප්‍රතිපත්ති, මූල්‍ය, තරගකාරීත්වය, ආයෝජන, ආයතනික සංවර්ධනය සහ දිළිදුකම පිටුදැකීම ඇතුළු කාර්යයන් සඳහා මේ වනවිට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන අතර ඉදිරියේ දී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය, ජල කළමනාකරණය, ආරක්ෂාව, පාරිසරික ස්ථාවරභාවය, සමාජ සංවර්ධනය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් පරිවර්තනය දක්වා එම සහාය ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.

2025 ජුලි 25 වන දින විවෘත කිරීමට නියමිත දකුණු ආසියානු ඒකාබද්ධ කාර්යාල 20 හි සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව ද තේරි ඇති බව මෙහිදී සඳහන් කර ඇති ලෝක බැංකු සභාපතිවරයා, ලෝක බැංකු සමූහය යටතේ පවතින නැවත ගොඩනැඟීම හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD),ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA),ජාත්‍යන්තර මූල්‍ය සමායතනය (IFC) සහ බහුපාර්ශ්වික ආයෝජන ඇපකර නියෝජිතායතනය (MIGA) යන ආයතන අතර සම්බන්ධීකරණය එම කාර්යාල අතර සිදුවනු ඇති බවද සඳහන් කර ඇත.

Spread the news

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *