පසුගිය පැය 24 තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කල්පිටිය, කන්දකුලිය අතුරු කුඩාව ප්‍රදේශයේදී කල්පිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි ගමන් කළ කුඩා දරුවා කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 06ක කුඩා දරුවෙකු සහ 40 හැවිරිදි පුද්ගලයෙකි.
එමෙන්ම කොළඹ – පුත්තලම මාර්ගයේ ලුණුවිල හන්දිය අසලදී මාර්ගය හරහා ගමන් කළ පාපැදිකරුවෙකු පුත්තලම දෙසට ධාවනය වූ වෑන් රථයක ගැටීමෙන් ද අනතුරක් සිදුව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු මාරවිල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇත.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ත් 60ත් අතර පසුවන පුද්ගලයෙකු වන අතර ඔහුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මාදම්පේ නගරයේදී පාපැදියක් පැරණි නගරය දෙසට ගමන් කරමින් සිටියදී පිටුපසින් පැමිණි වෑන් රථයක් පාපැදිකරු හප්පා පලා ගොස් ඇත.
එහිදී බරපතළ තුවාල ලැබූ 62 හැවිරිදි මඩොල්කැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පාපැදිකරු මාදම්පේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
පලාගිය වෑන් රථයේ රියැදුරු පොලිසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.



ප්‍රතිචාරයක් ලබාදෙන්න