Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කබ්රාල් ගේ පත්වීමට එරෙහි පෙත්සම විභාගයට ගන්නවාද? නැද්ද? – අවසන් තීරණය නොවැම්බර් 3 වනදා

By News Team on October 12th, 2021 in Local

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ගොනුකර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (12) දැනුම් දුන්නා.

එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු විසින් එම නඩුවට අදාළ ලිඛිත දේශන අධිකරණයට භාරදී ඇති බව දැනුම් දී තිබෙනවා.

ඒ අනුව පෙත්සම ඉදිරියටත් විභාග කිරීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතිසි නිකුත් කරන්නේ ද? නැද්ද? යන්න තීරණය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කලා.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ගොණු කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, හිටපු අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ඇතුලු පිරිසකුයි නම්කර ඇත්තේ.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ, අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් කටයුතු කළ 2005 සහ 2015 වසර දක්වා කාලසීමාව තුළ රජයට රුපියල් බිලියන 10.4 ත් 10.6 ත් අතර පාඩුවක් සිදුවී ඇති බව තහවුරුවී ඇති බවයි.

ඊට අමතරව ඒ මහතා මූලිකත්වය දැරූ හෙජින් ගිවිසුම හරහා ද ශ්‍රී ලංකා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 200ක පාඩුවක් සිදුවී ඇති බවද පෙත්සම්කරු සිය පෙත්සමෙන් පෙන්වා දෙනවා.