Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

යුගදනවි ගැන ජනපති සමඟත් සාකච්ඡා කරනවා – ඇමති විමල් විරවංශ

By News Team on September 24th, 2021 in Local

කෙරවළපිටිය යුගදනවි බලාගාරයට ගෑස් සැපයීම සඳහා වන අයිතිය අමෙරිකානු සමාගමක් වෙත පැවරීමට රජය ගෙන ඇති තීරණ සම්බන්ධයෙන් පවතින විවාදාත්මක තත්ත්වය පිළිබඳ අදහස් දැක්වීමට සාකච්ඡාවක් ලබා දෙන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා ප්‍රකාශ කළේ හවුල්කාර පක්ෂ 11ක නායකයන්ගේ අත්සනින් යුතුව ලිඛිතව මෙම ඉල්ලීම කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් ඊයේ (23) දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂ නායකයන් අතර යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් පවතින මතභේදාත්මක තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ යුගදනවි බලාගාරය ක්‍රියාත්මක වීමෙන් විදුලි පාරිභෝගිකයන්ට ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ බවයි.

කොවිඩ්-19 වසංගතය හමුවේ රජයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම, 2021 අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන පණත් කෙටුම්පත් එලෙස ඉදිරිපත් කිරීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව ද මෙහි දී මූලික අවධානයට ලක්වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

මේ අතර බලශක්ති ස්වෛරීත්වය අත්හැරහොත් එය රටේ ස්වාධීනත්වයේ සහ ස්වෛරීත්වයේ අවසානය වනු ඇති බව සමඟි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (23) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි.