Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ප්‍රවීණ සංගීතඥ ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

By News Team on September 6th, 2021 in Local

ශ්‍රී ලාංකීය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර සංගීතඥයෙකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අද (06) අළුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාධිතව සති තුනක කාලයක් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ විශිෂ්ඨ සංගීතඥයා ඉන් සුවය ලබා මීට දින කිහිපයකට පෙර නිවසට පැමිණියා.

නිවසට පැමිණි පසු යහපත් සෞඛ්‍යය තත්ත්වයේ සුනිල් පෙරේරා සිය දරු මුණුපුරන් සමඟ නිවසේ කාලය ගත කරමින් සිටි අතර දින කිහිපයකට පෙර දෙවියන් වහන්සේහට ස්තුති කරමින් සිදු කළ ගායනයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා.

කෙසේ වෙතත් ඔහුගේ පෙනහළුවල ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කෙරුනේ මීට දින තුනකට පෙරය.

අසනීප තත්ත්වය උග්‍ර වීමෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු මේ විශිෂ්ඨ ගායකයා අද (06) අළුයම් කාලයේ සිය අවසන් සුසුම් පොද වාතලයට මුසු කළා.

දශක පහකට වැඩි කාලයක් මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර සංගීතඥයෙකු වූ සුනිල් පෙරේරා මියයන විට 68 වියේ පසු වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඔහුගේ සොහොයුරු පියල් පෙරේරා කියා සිටියේ.

ගැඹුරු හඬින් මෙරට සුවහසක් සංගීත රසිකයින් මුසපත්කල සුනිල් පෙරේරා නම් විශිෂ්ඨ ගායකයාණනි ඔබට මොක්සුව ලැබේවා.