Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

බස්නාහිර පළාතේ වයස අවුරුදු 30න් ඉහළ සැමට එන්නත දෙන්න – ජනපති

By News Team on July 9th, 2021 in Local

ඉදිරි දෙසතිය තුළ ලැබීමට නියමිත ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 14 කට වැඩි ප්‍රමාණයෙන් ලක්ෂ හයක් කොළඹ දිස්ත්‍රික්කයට වෙන් කෙරෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ එහි පළමු මාත්‍රාව ලෙස ලබාගෙන ඇති ජනතාවට දෙවන මාත්‍රාව එන්නත් කිරීම සඳහායි.

ඉතිරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ පළමු සහ දෙවන මාත්‍රා සඳහා ලබාදෙන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ.

එන්නත්කරණය සහ ඉදිරි මෙහෙයුම් සම්බන්ධයෙන් කොවිඩ් මර්ධන විශේෂ කමිටුව සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී රාජපක්ෂ මහතා මේ බව සඳහන් කලා.

සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා පුලුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව මෙහිදී අනාවරණය වුණා.

ඒ අනුව ජුලි 11 වන දින ලැබීමට නියමිත සයිනෝෆාම් එන්නත් මිලියන දෙකෙන්, කොළඹ දිස්ත්‍රික්කයට ලක්ෂ දෙකක්, ගම්පහට ලක්ෂ පහක් සහ කළුතරට ලක්ෂ තුනක් බැගින් වෙන්කර බස්නාහිර පළාතේ වයස 30 ට වැඩි සියලූ දෙනාට එන්නත් දීම ලබන 30 වන දිනට පෙර අවසන් කළ යුතු බව ජනාධිපතිවරයා කියාසිටියා.

ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල, මාතලේ දිස්ත්‍රික් සඳහා එන්නත් ලක්ෂය බැගින් සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට එන්නත් ලක්ෂ දෙකක් වෙන්කර තිබෙනවා.

මේ වනවිට ලැබී ඇති ෆයිසර් එන්නත මන්නාරම හා වව්නියා දිස්ත්‍රික් සඳහාත් / මොඩර්නා එන්නත මහනුවර දිස්ත්‍රික්කයටත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉදිරියට ලැබීමට නියමිත එන්නත් කොවිඩ් පැතිර යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන විද්‍යානුකූල ක්‍රමවේදයකට බෙදාහැරීමට ද තීරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලා.

මේ වන විට සැලකිය යුතු ප්‍රතිශයකට එන්නත්කරණය සිදුව ඇති බැවින් ආර්ථික ක්‍රියාකාරකම් වෙනුවෙන් වැඩි ඉඩක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම එන්නත්කරණය පිළිබඳව සහ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව තානාපති කාර්යාල දැනුවත් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.