Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අමෙරිකා ප්‍රහාරයකින් IS නායකයා මරා දැමුවා – අමෙරිකා ජනාධිපති ලෝකයටම කියයි

By News Team on February 4th, 2022 in International

අයි.එස්.අයි.එස්. ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි මරා දැමීමට හැකිවුණු බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරාෂියාල් කුරේෂි යනු අයි.එස්.අයි.එස් එසේත් නැතිනම් අයි.එස්.අයි.එල් ත්‍රස්ත සංවිධානයට නායකත්වය දුන් දෙවැනි නායකයාය.

තුර්කි දේශසීමාවේ සිරියාවට අයත් ඉඩ්ලිබ් පළාතේ නිවසක සැඟවී සිටියදී අල් කුරාෂියාල් කුරේෂි සොයා ගැනීමට බුද්ධි අංශ සමත් වූ බවත්, අමෙරිකා හමුදාවේ විශේෂ බලඇණියක් එම නිවස වටලා පහර දී අල් කුරාෂියාල් කුරේෂි ඝාතනය කළ බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

සිරියානු සිවිල් යුද්ධයේ දී සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව අවි ගත් එරට විපක්ෂ කැරැලිකරුවන් සහ විපක්ෂයට සහාය දක්වන උන්හිටැතැන් අහිමිවුණු සිරියානු සිවිල් වැසියන් රැඳී සිටින්නේ ඉඩ්ලිබ් පළාතේය.

අල් කුරාෂියාල් කුරේෂි, ඔහුගේ බිරියන් සහ දරුවන් ද එම සිවිල් වැසියන් අතරේ සැඟවී සිටි බව අමෙරිකා බුද්ධි අංශ තහවුරු කර ගැනිමෙන් පසු වැටැළීම සිදුවුණු බවයි.

අමෙරිකා හමුදා වටළා කළ පහරදීමෙන් අල් කුරාෂියාල් කුරේෂිගේ බිරියන් සිවුදෙනාත්, දරුවන් සය දෙනාත් මියගිය ගොස් ඇති බවයි අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරන්නේ.

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ නිර්මාතෘවරයා මෙන්ම එහි පළමු නායකයා ද වූයේ අබු බකර් අල් බැග්ඩැඩිය.

2019 වසරේ අප්‍රේල් 21 පාස්කු දා මෙරට සිදුවුණු ම්ලේච්ඡ බෝම්බ පිපිරීම්වල වගකීම අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ හිතවාදින් විසින් භාර ගනු ලැබූ අවස්ථාවේ, වසර ගණනක් සැඟවී සිටි අල් බැග්ඩෑඩි රහස් ස්ථානයක සිට වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ලොවට තර්ජනය කළා.

එය ඔහුගේ අවසන් තර්ජනය වූ අතර අමෙරිකා හමුදා අබු බකර් අල් බැග්ඩෑඩි සොයා ඝාතනය කළේ 2019 වසරේ ඔක්තෝබර් 27 වැනිදායි.

අල් බැග්ඩෑඩි ද සැඟවී සිටියේ සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ නිවසක වන අතර අල් බැග්ඩෑඩි ඝාතනය කිරීමේ මෙහෙයුම් සඳහා අණ දුන්නේ එවකට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ඩොනල්ඩ් ට්‍රම්ප්ය.