Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

චීනය – ඉන්දියාවට – ශ්‍රී ලංකාවට අමෙරිකාවෙන් සම්බාධක පනවයි

By News Team on July 27th, 2021 in Exclusive Story

අමෙරිකා එක්සත් ජනපදය මගින් සම්බාධක වලට යටත් කරන ලද රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව චීනය ප්‍රකාශ කරයි.

චීනයෝ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව, ඉන්දියාව හා චීනය ද ඇතුළුව රටවල් 27ක් එක්සත් ජනපදයේ සම්බාධක වලට යටත් කොට ඇති බවයි.

දකුණු ආසියානු කලාපීය බලවතා වන ඉන්දියාව ද රුසියාවෙන් ඩොලර් බිලියන 400ක් වටිනා මිසයිල පද්ධතියක් මිලදී ගැනීම හේතුවෙන් එක්සත් ජනපද සම්බාධක වලට යටත්වීමේ අවධානමකට මුහුණ පා සිටින බව ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.

එම පුවත්පත ප්‍රකාශ කරන ආකාරයට අදාළ වාර්තාවන් සකස් කර ඇත්තේ එක්සත් ජනපදයේ රාජ්‍ය සහ මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තු වාර්තා මූලාශ්‍ර කර ගනිමිනි.

චීනයේ නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැති ෂී ෆෙන්ග් සහ එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් අතර ඊයේ (26) ද්වීපාර්ශ්වික සාකච්ඡා වටයක් ආරම්භ වූ අතර එම සාකච්ඡාවේ නව පුවත් යාවත්කාලීන කිරීමට සමගාමීව කොළඹ චීන තානාපති කාර්යාලය මෙම සම්බාධක පිළිබඳ පුවත අනාවරණය කර ඇත.

චීනය කිසිදු දිනෙක ලොව කිසිදු රටක් බලහත්කාරයෙන් යටත්කරගැනීමට උත්සාහ කර නැති නමුත්, එක්සත් ජනපදය ලොව බොහෝ රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීමට කටයුතු කරමින් සිටින බව ද චීන තානාපති කාර්යාලය අවධාරණය කරයි.

නයන තරංග ගමගේ – අරුණ පුවත්පත