Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

මහින්දගේ ගිණුමෙන් ඇද්ද සල්ලි ටික ටික ගෙවන්න උදිත් පොරොන්දු වෙයි

By News Team on January 30th, 2022 in Exclusive Story

පසුගිය සතියේ මහින්ද රාජපක්ෂ මහතා මුල් කරගෙන මහත් ආන්දෝලනාත්මක පුවත් දෙකක් මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. ඉන් එක් පුවතක් වූයේ මහින්ද ළඟම සිටි ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ උදිත් ලොකුබණ්ඩාර විසින් මහින්දගේ පෞද්ගලික බැංකු ගිණුමක තිබූ විශාල මුදලක් අවභාවිත කොට ඇති බවට වූ පුවතය. දෙවැන්න වූයේ මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විවිධ පුවත් වාර්තා කොට තිබීමය. එහි සඳහන්ව තිබුණේ මහින්දගේ අසනීප තත්ත්වයක් හේතු කොටගෙන හදිසියේම රෝහල්ගත කර ඇති බවත්, ඔහු හදිසි ශල්‍යකර්මයකට බඳුන්කොට ඇති බවත්ය.

පරණ එකවුන්ට් එකක් හිටිහැටියේ මතක් වෙලා!
මෙහිදී පළමුවෙන්ම මහින්දගේ පෞද්ගලික ගිණුමේ තිබූ මුදල් අතුරුදන් වීම පසුපස ඇත්තේද අපූරු කතාවකි. ලංකා බැංකුවේ පැවැති එම ගිණුමට මහින්ද මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කරද්දී ලැබුණු වැටුපත්, විශ්‍රාමික ජනාධිපතිවරයකු වශයෙන් කටයුතු කරද්දී ලැබුණු විශ්‍රාම වැටුපත්, වත්මන් වැටුපත් වසර ගණනාවක් පුරා බැරවී තිබිණ. පසුගිය කාලය පුරාම මහින්දට මෙම ගිණුම සම්බන්ධයෙන් එතරම් මතකයක් නොතිබුණද, හිටි හැටියේම එම ගිණුම සම්බන්ධයෙන් මතකයට පැමිණි පසු මහින්ද තමන් සමීපයේ සිටි ඥාති පුත්‍රයකුට දැනුම්දී තිබුණේ එම ගිණුමේ සැලකිය යුතු මුදලක් ඇති බවත්, එම මුදල් ගෙන යම් යම් අවශ්‍යතා ඇති පුද්ගලයන් හට බෙදාදෙන ලෙසත්ය. තමන් එම ගිණුමෙන් කිසිදු මුදලක් වසර ගණනාවක් ලබාගෙන නොමැති බවද මහින්ද එහිදී සිය ඥාති පුත්‍රයාට දැනුම්දී සිටියේය.

කියපු තරම් සල්ලියක් තිබ්බෙ නෑලු!
මහින්දගේ එම දැනුම්දීමට අනුව එම ඥාති පුත්‍රයාද පාර්ලිමේන්තුවෙන් මහින්දගේ ගිණුම පිළිබඳ විමසා සිටිද්දී බැංකුවෙන් දැනුම් දී තිබුණේ ඉතා සුළු මුදලක් පමණක් එම ගිණුමේ ඇතැයි කියාය. ඒ අනුව මහින්ද කී ආකාරයට මන්ත්‍රී වැටුප, ජනපති, අගමැති විශ්‍රාම වැටුප, වත්මන් වැටුප හෝ එම ගිණුමට බැරවී නැති බවක් එම ඥාති පුත්‍රයාට දැකගන්නට ලැබිණි. ඒ අනුව වහාම මහින්දට ඒ බව දැනුම් දුන් එම ඥාති පුත්‍රයා අදාළ ගිණුමේ සුළු මුදලක් පමණක් පවතින බවත් මහින්දට දැනුම්දී සිටියේය.

මහින්දගෙන් රත්වත්තේට ඇමතුමක්! දීපු උත්තරෙන් යකා නැගලා!
මෙම පිළිතුරත් සමග මහින්ද ගත් කටටම කියා සිටියේ, ‘නෑ කීයටවත් ඒක වෙන්න බෑ. මම ඔය එකවුන්ට් එකෙන් අවුරුදු ගාණකින් සත පහක් අරගෙන නෑ. පහුගිය කාලෙ මට හම්බවෙච්ච පඩියයි පෙන්ෂන් එකයි ඔය එකවුන්ට් එකට තමයි ගියේ. ඒක කීයටවත් වෙන්න බෑ…’ යැයි කියාය. නමුත් එය එසේ නොවන බව මෙම ඥාති පුත්‍රයා පැහැදිලි කිරීමෙන් පසු මහින්ද කළේ වහාම ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේට දුරකතන ඇමතුමක් ගැනීමය. එසේ ඇමතුමක් ගත් මහින්ද සිය ඉතිරිකිරීමේ ගිණුම පිළිබඳ ඔහුගෙන් විමසා බැලීමට පියවර ගත්තේය. කාංචනද වහාම තොරතුරු විමසා බලා මහින්දට නැවත ඇමතුමක් ගෙන පවසා සිටියේ එම ගිණුමෙහි මහින්ද කියන තරම් විශාල මුදලක් නැතැයි කියාය. කාංචනගේ මේ පිළිතුරෙන් මහින්දට යකා නැග්ගේය. මන්ද යත් වසර ගණනාවක් තිස්සේ තමන්ට ලැබුණු වැටුප එකතු වූ ගිණුමක ලොකු මුදලක් නොමැති බව කීම මෙම කෝපයට හේතුවිය. ඒ අනුව කාංචනටද බැණවැදුනු මහින්ද කියා සිටියේ බැංකුවට කොතැනක හෝ වැරැදී ඇති බවත්, තමන් එම ගිණුම ලංකා බැංකුවෙන් ඉවත් කොට මහජන බැංකුවේ විවෘත කිරීමට කටයුතු කරන බවත්ය. මහින්ද කෝපයට පත්ව ඇති බව වටහා ගත් කාංචන කියා සිටියේ කලබල නොවන ලෙසත්, ගිණුමෙහි තිබූ මුදල්වලට සිදුව ඇති දේ තමන් සොයා බලා දැනුම්දීමට කටයුතු කරන බවත්ය.

නයිට් ක්ලබ්වලට, ඩියුටි ෆ්‍රී විස්කිවලට වියදම් කරලා!
ඒ අනුව කාංචන කළේ වැටුප පැවැති බැංකුවේ කළමනාකරුට කතා කොට මහින්දගේ ගිණුමේ සවිස්තර බැංකු වාර්තාවක් ලබාගැනීමය. එසේ ලබාගැනීමෙන් පසු මහින්දගේ ගිණුමේ රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් තිබී ඇති නමුත් කාලයක් තිස්සේ එම ගිණුමෙන් වරින් වර සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බව කාංචනට දැකගත හැකි විය. ඇතැම් මුදල් කටුනායක ගුවන් තොටුපළේ තීරුබදු රහිත වෙළෙඳසැල්වලින් මත්පැන් ලබාගැනීම සඳහා වැයකොට ඇති බවත්, ඇතැම් අවස්ථාවල සිනමන් ලේක් හෝටලයේ පවතින රාත්‍රී සමාජ ශාලාවටත්, ෆ්ලෙමින්ගෝ රාත්‍රී සමාජ ශාලාවටත් වියදම් කොට ඇති බවත් කාංචනට දැකගත හැකි විය. ‘ඩෙබිට්’ කාඩ්පතක් (හරපතක්) උපයෝගී කොට ගෙන මෙම මුදල් වියදම් කොට ඇති ආකාරයද කාංචනට දැකගත හැකි විය. ඒ අනුව වහාම මහින්දට කතා කළ කාංචන මේ ආකාරයෙන් මහින්දගේ ගිණුමෙන් තීරුබදු රහිත මත්පැන් ලබාගැනීමටත්, රාත්‍රී සමාජශාලාවල වියදම් පියවීමටත්, විවිධ වියදම් සඳහාත් භාවිත කොට ඇති බව දැනුම් දීමත් සමග මහින්දට තවත් යකා නැග්ගේය.

මිලියන 44න් මිලියන 33ක්ම ඇදලා!
‘පිස්සුද අයිසේ… මම කවද්ද ඩියුටි ෆ්‍රී ගිහිල්ලා අරක්කු ගත්තේ? මම නයිට් ක්ලබ් ගානේ ගිහින් තියෙනවද? මෙතන මොකක් හරි වැරැද්දක් වෙලා තියෙනවා. වහාම මේක ගැන හොයලා මට කියන්න…’ යනුවෙන් මහින්ද කෝපයෙන් යුතුව පවසද්දී කාංචන කියා සිටියේ ඩෙබිට් කාඩ්පතක් මාර්ගයෙන් කිසිවකු විසින් මෙම වියදම් සිදුකර ඇති බවකි. එමෙන්ම එම ගිණුමේ රුපියල් මිලියන 44ක මුදලක් (කෝටි හතරහමාරකට ආසන්න) තිබී ඇති බව කී කාංචන, ඉන් මිලියන 33ක මුදලක් විවිධ අවස්ථාවලදී ඩෙබිට් කාඩ්පත මගින් ලබාගෙන ඇති බවත් කියා සිටියේය. එහිදී මහින්ද කියා සිටියේ තමන් කෙදිනකවත් එම ගිණුමට ඩෙබිට් කාඩ්පතක් ලබාගෙන නොතිබූ බවකි.

ගේම ගැහුවේ ලොකුබණ්ඩාර බව හෙළිවෙයි!
ඒ අනුව වහාම අරලියගහ මන්දිරයෙන් මහින්දගේ ගිණුමෙන් මුදල් වියදම් කළ පුද්ගලයා පිළිබඳ සොයාබැලීමේ මෙහෙයුමක් දියත් වන ආකාරයක් දැකගත හැකි විය. පැය භාගයකට ආසන්න මෙහෙයුමකට පසු මහින්දගේ ගිණුමේ තිබූ මුදල්වලට සිදුව ඇති දේ සොයාගැනීමට පිරිසට හැකි විය. ඒ අනුව මහින්දගේ ගිණුමට ලැබෙන චෙක්පත් භාරව සිටියේ මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් කටයුතු කරන උදිත් ලොකුබණ්ඩාර බවත්, මීට කලකට ඉහතදී ඔහු මහින්දගෙන් අස්සනක් ලබාගෙන ඒ හරහා බැංකුවෙන් ඩෙබිට් කාඩ්පතක් ලබාගෙන ඇති බවත් පිරිසට අනාවරණ කරගත හැකි විය. එමෙන්ම උදිත් මෙම ඩෙබිට් කාඩ්පතින් කර ඇති වියදම් සහ එසේ කර ඇති ආයතන ලැයිස්තුව දෙස බැලූ විට මහින්ද පුදුමයටත්, කෝපයටත් පත්වූ ආකාරයක්ද දැකගත හැකි විය.

කව්ද මේ ලොකුබණ්ඩාර!
උදිත් ලොකුබණ්ඩාර යනු හිටපු කතානායක මෙන්ම එජාපයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු වූ විජමු ලොකුබණ්ඩාරගේ පුත්‍රයාය. උදිත් මහින්ද ළඟ 2010න් පසු කාලයේ සිට සිටියත් මහින්ද උදිත්ව තම සමීපයට ගත්තේ 2015න් පසුවය. එදා සිට මහින්දගේ සියලු පෞද්ගලික කටයුතු ඔහු සමීපයේ සිට සිදුකරනු ලැබුවේ උදිත්ය. කෙසේ වෙතත් මාධ්‍ය සමග සිදුවූ යම් මතගැටුමකින් පසු වරෙක මහින්ද මාධ්‍ය ඉදිරියේම උදිත්ට ‘මෝඩ යකා’ යැයි කියමින් බැණවැදීම නිසා එවක ඔහු සමාජ මාධ්‍ය ඉදිරියේ විශාල අපහසුතාවකට පත්ව සිටි ආකාරයක්ද දැකගත හැකි විය. එම සිද්ධියෙන් පසු මහින්ද උදිත්ව තරමක් ඈත් කර තිබූ ආකාරයක්ද දැකගත හැකි විය. නමුත් මෑතකදී සිය පාර්ලිමේන්තු ලේකම්වරයා වශයෙන් යළිත් වතාවක් උදිත්ව තම සමීපයට ගැනීමට මහින්ද කටයුතු කර තිබුණද ඔහු පිළිබඳ විවිධ පැමිණිලි රැසක් මහින්දට ලැබී ඇති ආකාරයක්ද දැකගත හැකි විය.

ලක්ෂ 25 උදිත් අරන් ඇවිත් බාර දෙයි!
කෙසේ වෙතත් මහින්දගේ ගිණුමකින් කෝටි ගණනක මුදල් නැතිවී ඇති බවට පුවත සමාජ මාධ්‍ය ජාලවලින් හෙළිවීමත් සමග උදිත්ද කලබලයට පත්විය. ඒ අනුව වහාම මහින්දව හමුවීමට පැමිණි උදිත් තමන් අතින් වැරැද්දක් සිදුවූ බව පිළිගෙන, ගිණුමෙන් ලබාගත් මුදල්වලින් ලක්ෂ 25ක් යළි බාරදීමට පියවර ගත්තේය. එමෙන්ම ඉතිරි මුදල්ද ලබාදීමට කටයුතු කරන බව කී උදිත් තමන්ට හිරිහැරයක් නොකරන ලෙසද මහින්දගෙන් ඉල්ලා සිටියේය. උදිත් එවැනි ඉල්ලීමක් කළද මහින්දගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන යෝෂිත රාජපක්ෂ වහාම උදිත්ව මහින්දගේ පාර්ලිමේන්තු ලේකම් ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ සමගම විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විවිධ ප්‍රකාශ නිකුත් කිරීමට පියවර ගත් ආකාරයක්ද දැකගත හැකි විය. ඒ අනුව නාමල්ද මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් එම සිදුවීම සම්බන්ධයෙන් දැනුවත්වී නැතැයි කියාය.

එතකොට ඩියුටි ‌ෆ්‍රී වාහනයට මොකද වෙන්නේ!
මීට අමතරව උදිත් සම්බන්ධයෙන් මේ වන විට රාජපක්ෂ පවුල ඇතුළේ තවත් බරපතළ ගැටලුවක් මතුව තිබේ. ඒ, රාජපක්ෂවරුන්ට හිමිව තිබූ තීරුබදු රහිත වාහන බලපත්‍රයකින් ලබාගත් සුඛෝපභෝගී මෝටර් රථයක් උදිත්ගේ භාවිතයට ලබාදී තිබීමය. වසර ගණනාවක් තිස්සේම උදිත් භාවිත කර තිබුණේ මෙම සුඛෝපභෝගී රථයය. ඒ අනුව මෙම රථය යළි ලබාගන්නා ආකාරය පිළිබඳවද රාජපක්ෂ පවුල ඇතුළේ කිසියම් සාකච්ඡාවක් සිදුව ඇති බවයි.