Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පළාත් අතර සංචරණ සීමා 21ක් වනදා දක්වා දීර්ඝ කෙරේ

By News Team on October 8th, 2021 in Local

අවුරුදු 18,19වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ.

ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සෑම පාසලකදීම සිදු කෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරනු ලැබීය.

එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මගින් සිදු කෙරේ.

මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය කෙරිණ.

වයස් කාණ්ඩය 20, 30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

වයස 12, 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී තිබේ.

දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළහ.

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 21 වනදා දක්වා පැවතිය යුතු බව කොවිඩ් කමිටුවේ තීරණය විය.

එන්නත්කරණය සාර්ථක කරගැනීමට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලුම පාර්ශ්වයන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ස්තූතිය පළ කළේය.