Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

අද සිට අන්තර් පළාත් අතර බස් – දුම්රිය ධාවනය වන්නේ මෙහෙමයි

By News Team on August 2nd, 2021 in Local

දුම්රිය 110කට වැඩි සංඛ්‍යාවක් ධාවනයට අද (02) සිට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය 11ක් අද (02) කොළඹ වෙත පැමිණීමට නියමිතයි.

ඉන් දුම්රිය 02ක් මහනුවර සිට පැමිණීමට නියමිත අතර මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 20ක් අද (02) පෙරවරුවේ කොළඹ දක්වා ධාවනයට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පුත්තලම මාර්ගයේ දුම්රිය 06ක් ද කැළණිවැලි මාර්ගයේ දුම්රිය 05ක් ද අද (02) පෙරවරුවේ කොළඹ බලා පැමිණීමට නියමිතයි.

ඊට අමතරව පළාත් දුම්රිය 30ක් ධාවනයට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැනවූ අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් රාජකාරි කටයුතු සඳහා පමණක් අන්තර් පළාත් බස්රථ හා දුම්රිය භාවිතා කරන ලෙස ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

රාජ්‍ය සේවයේ සියලු සේවකයින් නැවත සේවයට කැඳවීම හේතුවෙන් අන්තර් පළාත් බස් රථ ප්‍රවාහන කටයුතු අද (02) සිට සම්පුර්ණයෙන්ම යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවා සඳහා පැමිණෙන සියලු දෙනාගේ ප්‍රවාහන පහසුව සඳහා අද (02) දිනයේ සිට නියමිත කාලසටහනකට අනුව සම්පුර්ණ බස් රථ යොදා ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර උපරිම බස් රථ ප්‍රමාණයක් අද (02) සිට අන්තර් පළාත් සහ පළාත් තුළ බස් රථ ධාවනයට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.