Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දුම්රිය සහ බස් අද දිනයේ ධාවනය වන්නේ මෙහෙමයි

By News Team on June 21st, 2021 in Local

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව අද (21) අළුයම බදාදා රාත්‍රී 10 තෙක් කාලයේ දී පළාත් තුළ පමණක් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම කියා සිටියේ මේ අනුව දුම්රිය සහ ලංගම හා පෞද්ගලික බස්රථ යම් සංඛ්‍යාවක් දිවයින පුරා පළාත් තුළ පමණක් ධාවනය වන බවයි.

මේ අතර අද (21) දිනයේ පළාත් තුළ පමණක් සියයට 20ක් පමණ බස් රථ ධාවනයක් සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා.

ඊට අමතරව දිවයින පුරා සංචරණ සීමා ඉවත් කිරීමෙන් අනතුරුව පළාත් තුළ පමණක් දුම්රිය ධාවනය සිදුකරනු ලබනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය 06ක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය 07ක්, කැලණිවැලි මාර්ගයේ දුම්රිය 04ක් හා පුත්තලම් මාර්ගයේ දුම්රිය 06ක් ධාවනය වන බවයි.

ඒ අනුව ලබන බදාදා රාත්‍රී 10 වනදා නැවත සංචරණ සීමා පැනවෙන තෙක් දුම්රිය ධාවනය වනවා.

ප්‍රධාන මාර්ගයේ අඹේපුස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රිය 03ක්, මීරිගම දුම්රිය ස්ථානයේ දුම්රිය 01ක්, වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දුම්රිය 01ක්, ගම්පහ දුම්රිය ස්ථානයෙන් දුම්රිය 01ක් ගමන් වාර ආරම්භ කිරීමට නියමිතයි.

තවද මුහුදුබඩ මාර්ගයේ අලුත්ගම සිට දුම්රිය 04ක්, පානදුර – මොරටුව සහ ගල්කිස්ස දුම්රිය ස්ථානවල සිට එක් දුම්රියක් ද ධාවනය වනු ඇති.

කැළණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සිට දුම්රිය 02ක් සහ පාදුක්කේ සිට දුම්රිය 02ක් හලාවත මාර්ගයේ කොච්චිකඩේ දුම්රිය ස්ථානයේ දුම්රිය 02ක් සහ මීගමුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය 04ක් කොළඹ දක්වා ධාවනය වීමට නියමිතයි.