Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ලොහාන්ට එරෙහිව පෙත්සම ගොණුකල රැඳීවියන් 08 දෙනාගේ ආරක්ෂාව තහවුරු කෙරේ

By News Team on October 5th, 2021 in Local

අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 08 දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට හා අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට අදාළ උපදෙස් දෙන ලෙසයි අධිකරණය නියම කර ඇත්තේ.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී රැඳවියකුගේ හිසට පිස්තෝලයක් තබා තර්ජනය කිරීම හමුවේ සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් එම බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ නීතිපතිවරයායි නම් කර ඇත්තේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ තමන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින බවයි.

ඉකුත් 12 වන දා ආරක්ෂකයින් සමග බන්ධනාගාරයට පැමිණි වගඋත්තරකාර ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා තමන් දණ ගස්වා අමානුෂික ලෙස බැණ වැදුණු බව පෙත්සම්කරුවන් චෝදනා කරනවා.

අනතුරුව සිය පිස්තෝලය ගෙන රැඳවියෙකුගේ හිසට එය තබා තර්ජනය කළ බව මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්.

මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් යාපනය බන්ධනාගාරයට මාරුකරන ලෙස අතුරු නියෝගයක් නිකුත්කරන ලෙස ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.