Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

දයාසිරි රහසේ කියූ කතාවක් අගමැතිට ආරංචි වෙයි

By News Team on September 29th, 2021 in Exclusive Story

තම බල පුත් ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර විසින් දිගින් දිගටම සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් අගමැතිවරයා දැඩි කෝපයෙන් පසුවන බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

මේ දිනවල කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය සම්බන්ධීකරණය කරනු ලබන්නේ අග්‍රාමත්‍යවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතායි.

බොහෝ දෙනා පවසන්නේ රෝහිත රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේම කුරුණෑගල දිස්ත්‍රික්කය පුරා සංචාරය කරමින් විවිධ සංවර්ධන ක්‍රියා සම්බන්ධයෙන් සොයා බලන බවයි.

අග්‍රාමත්‍යවරයාගෙන් පසු කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනය කටයුතු ආරම්භ කිරීමට ඔහුගේ යම් සුදානමක් ඇති බවයි තතුදත් දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

ඊට ඔහුට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ද පුර්ණ සහය හිමිවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ එතරම් කැමැත්තක් නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ හිතවතුන් පිරිසක් සමඟ ප්‍රකාශ කර ඇත්තේ යළිත් කුරුණෑගලින් රාජපක්ෂලාට බලයට ඒමට තමා ඉඩ නොදෙන බවයි.

ඔහුගේ එම ප්‍රකාශය කනින් කොනින් අගමැතිවරයාට සැලවී ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ඊයේ (28) දිවයින දිනපතා පුවත්පත වාර්තා කර තිබුණේ සුළු පක්ෂවලට ආණ්ඩුවෙන් යන්න ඕනෑ නම් දොර විවෘත කර බව අගමැතිවරයා විසින් ප්‍රකාශ කර ඇති බවයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන්නේ දයාසිරි ජයසේකර මහතා විසින් සිදුකළා යැයි සැලවූ ප්‍රකාශය පදනම් කරගනිමින් අගමැතිවරයා මෙම අදහස් දැක්වීම සිදුකර ඇති බවයි.

මේ අතර තමා ඇමති ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් ඉදිරි වයඹ පළාත් සභා මැතිවරණයේ මහ ඇමති අපේක්ෂක ලෙස තරඟ කිරීමට සුදානම් බව දයාසිරි ජයසේකර මහතා ඊයේ (28) මාධ්‍ය අමතමින් කියා සිටියා.

ඒ සඳහා නිදහස් පක්ෂය සන්ධානයක් ලෙස එකමුතු වී තමාට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළහොත් තම ඒ සඳහා සුදානම් බවයි ඔහු එහිදී සඳහන් කළේ.

මේ වන විටත් ඊට ඉල්ලීම් ගණනාවක් ලැබී බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ.

කෙසේ වෙතත් මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ සිට දයාසිරි ජයසේකර මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජයට සහය දැක්වීමට එක්වූ අතර පසුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වයඹ පළාත් සභා මැතිවරණය සඳහා ඉදිරිපත් වුණා.

එහිදී ඔහු මනාප 336,327 ලබා ගනිමින් වයඹ පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස තේරී පත්වීමට සමත් වුණා.