Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇස්ට්‍රාසෙනෙකා මීළඟ එන්නත් තොගය ලබන සෙනසුරාදා දිවයිනට

By News Team on August 2nd, 2021 in Local

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් කළ ඉල්ලීම පරිදි ජපාන රජයෙන් පරිත්‍යාග කෙරෙන ඇස්ට්‍රාසෙනිකා මීළග එන්නත් තොගය ලබන සෙනසුරාදා දිවයිනට රැගෙන ඒමට නියමිත බව ජපාන තානාපති අකිරා සුගියාමා මහතා පවසනවා.

පසුගිය සෙනසුරාදා පස්වරුවේ රැගෙන ආ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදෙමින් ජපාන තානාපතිවරයා මේ බව කියාසිටියා.

ජපානය විසින් ලබාදීමට තීරණය කල මුලු එන්නත් මාත්‍රා සංඛ්‍යාව 14 ලක්ෂ 56 දහසක්.

එහි පළමු තොගය ලෙස එන්නත් මාත්‍රා 728,460 ක් පෙරේදා දිනයේදී ලැබුණු අතර බස්නාහිර පළාතේ තෝරාගත් ස්ථානවලදී එම එන්නත් දෙවන මාත්‍රාව ලෙස ලබාදීම ඊයේ (01) සිට ආරම්භ වුණා.

එන්නත් තොගය ලැබී පැය කිහිපයක් ඇතුළත එන්නත්කරණයට යෙදවීම හා ශ්‍රී ලංකාවේ සමස්ත එන්නත්කරණ වැඩපිළිවෙළ ජපාන තානාපතිවරයාගේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් සංවිධානවල මෙරට නියෝජිතයින්ගේ විශේෂ පැසසුමට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.