Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ඇෆ්ඝනිස්ථානයේ යුදමය තත්ත්වය නිල වශයෙන් අවසන් – තලේබාන් සංවිධානය නිලවශයෙන් කියයි

By News Team on August 16th, 2021 in International

ඇෆ්ඝනිස්ථානය තුළ යුදමය වාතාවරණය අවසන් බව තලේබාන් සංවිධානය අද (16) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

කාබුල් අගනුවර සහ ජනාධිපති මන්දිරය සිය සංවිධානය යටතට පත්වීමෙන් අනතුරුව ඔවුන් මෙම නිවේදනය සිදු කළා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ලොව තුළ හුදකලාව සිටීමට තලේබාන් සංවිධානය හෝ ඇෆ්ඝන් ජනතාව සුදානම් නොමැති බවත් ජාත්‍යන්තර ප්‍රජාවේ සහය අපේක්ෂා කරන බවත්ය.

ඊට අමතරව ෂරියා නීතිය තුළ හිඳිමින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරුකරමින්, කාන්තා සහ සුළු ජන කොට්ඨාශවල අයිතීන් පිළිගන්නා බවද තලේබාන් සංවිධානය අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

තම සංවිධානය සමඟ දැනට මතභේද පවතින සියලු රටවලට සාකච්ඡා මාර්ගයෙන් ඒවා විසඳා ගැනීමට හැකියාව පවතින බවද ඔවුන් එම නිවේදනයේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

බල හුවමාරුවේ දී ඇෆ්ඝනිස්ථානය තුළ සිටි කිසිඳු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට හෝ රාජ්‍ය තාන්ත්‍රික කාර්යාලයකට හානිය නොකළ බව තලේබාන් සංවිධානය පවසනවා.

ඔවුන් අදාළ නිවේදනයේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විදේශීය හමුදා ඇෆ්ඝනිස්ථානයට පැමිණ අතීතයේ සිදුකලාක් මෙන් වැරදි නැවතත් සිදුකරනු ඇතැයි තලේබාන් සංවිධානය විශ්වාස නොකරන බවයි.