Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කොතලාවල පණත ගැන අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම උණුසුම් වෙයි

By News Team on August 3rd, 2021 in Exclusive Story

ඊයේ (02) පස්වරුවේ අරලියගහ මන්දිරයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බව වාර්තා වනවා.

ඒ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් එම කණ්ඩායම අතර ඇතිවූ සංවාදයක් හේතුවෙනි.

ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග වාර්තා සඳහන් කරන්නේ පනතට විරුද්ධව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සහ සුළු පක්ෂවල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ද අදහස් පළ කර ඇති බවයි.

එහිදී සුසිල් ප්‍රේමජයන්ත, ගෙවිඳු කුමාරතුංග, වීරසුමන වීරසිංහ සහ ප්‍රේමනාත් සී දොලවත්ත පනතට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස පනතට විරුද්ධව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් සිය අදහස අගමැතිවරයා හමුවේ අදහස් දක්වද්දී රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පනතට පක්ෂව අදහස් දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රී කණ්ඩායමේ ඇති වූ සංවාදත්මක තත්ත්වය සමඟ පණත සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා කමිටුවක් පත්කරන බවත් එහි අවසන් තීරණයක් එනතෙක් පනත ඉදිරිපත් නොකරන බවත් අගමැතිවරයා මන්ත්‍රී කණ්ඩායමේ හමුවේ දැනුම් දී තිබෙනවා.

ඒ අනුව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ විසඳුමකින් තොරව මන්ත්‍රී කණ්ඩායමේ හමුව අවසන් වී ඇති බවයි.