Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

Update – එජාප නායක සහ ජනපති අතර හමුව විනාඩි 40කට සීමා වෙයි

By News Team on August 17th, 2021 in Exclusive Story

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (17) උදෑසන පැවැති විශේෂ සාකච්ඡාව විනාඩි 40කට පමණ සීමා වී තිබෙනවා.

කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව ජනාධිපති සහ එජාප නායකයා පමණක් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාහට සහය දක්වන මාධ්‍ය විසින් මෙම හමුව සම්බන්ධයෙන් කියා සිටියේ ආණ්ඩුවට යාම සඳහා සිදුකරන සාකච්ඡාවක් ලෙසයි.

පසුගිය 16 වනදා කොරෝනා වසංගතය හමුවේ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවැත්වූ දුරකථන සංවාදයේ ප්‍රතිඵලයක් ලෙස මෙම හමුව සිදුව තිබෙනවා.

කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා ඇති බවද වාර්තා වනවා.
———————————————————————————————
ජනපති ගෝඨාභය හිටපු අගමැති රනිල්ව මුණ ගැසේ – 2021.08.17 (01.47PM)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (17) කොළඹ දී සිදු වීමට නියමිතයි.

මෙම හමුව සිදු වන්නේ රටේ වත්මන් කොරෝනා වසංගත තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දුරකථනයෙන් ඊයේ (16) කළ සංවාදයකට පසුවයි.

එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා ගේ පියාගේ අවමඟුලට සහභාගීවීමට රනිල් වික්‍රමසිංහ මහතා අද (17) උදේ කොළඹින් බැහැර ගොස් සිටින අතර යළි කොළඹට පැමිණි වහාම මෙම හමුව සිදු වීමට නියමිත බවයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරන්නේ.