Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

පළමු මහ බැංකු බැඳුම්කර නඩු විභාගය පළමු සහ 10 වන විත්තිකරුවන් නොමැතිව ඉදිරියට

By News Team on July 19th, 2021 in Local

පළමු මහ බැංකු බැඳුම්කර අක්‍රමිකතා නඩු විභාගය එහි පළමු සහ 10 වන විත්තිකරුවන් නොමැතිව ඉදිරියට පවත්වාගෙන යාමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිරිණය හමුවේදී අද (19) අනාවරණය වුණා.

පළමු විත්තිකරු වන්නේ දැනට විදෙස්ගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් වන අතර 10 වන විත්තිකරු වන්නේ අජාන් ගාර්දිය පුංචිහේවා යන අයයි.

එම නඩුව අද (19) චම්පා ජානකී රාජරත්න සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතායි එම දැනුම් දීම සිදුකළේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම නඩුවේ පළමුවන විත්තිකරු වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් උදර්පණ නීතිය යටතේ මෙරට නීතිපතිවරයා සහ සිංගප්පූරු නීතිපතිවරයා අතර කරුණු හුවමාරුවෙමින් තිබෙන බව දන්වා සිටියා.

එහිදී මහධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාගෙන් විමසා සිටියේ එම විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන් උදර්පණ නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මෙරට සහ සිංගප්පූරු නීතිපතිවරු අතර අදහස් සහ ලිපි හුවමාරු කිරීම නිරන්තරයෙන් සිදුවෙමින් පවතින බවයි.

එම උදර්පණ ක්‍රියාවලිය තුළ සාධනීය ප්‍රතිඵලයක් අත් නොවන්නේ නම් ඉදිරියේ දී අදාළ විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව ද අතිරේක සොලිස්ටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා මෙහිදී අධිකරණය හමුවේ දැනුම් දුන්නා.