Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

කැබිනට් මණ්ඩලයේ විරෝධය මත මුදල් අමාත්‍යාංශයේ තීරණය රිවර්ස් වුණු හැටි මෙන්න

By News Team on July 6th, 2021 in Exclusive Story

මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට ලබාදී තිබූ බලපත්‍රය අහෝසි කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදියි.

ඊයේ (05) පැවැති කැබිනට් මණ්ඩයේ දී අමාත්‍යවරුන් රැසක් අදාළ සමාගමට යළි ආරම්භ කිරීම සඳහා ලැබුණු අවසරයට දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ජනාධිපතිවරයා එම විරෝධතාව සලකා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇත්තේ බලපත්‍ර අහෝසි කරන ලෙසයි.

මෙන්ඩිස් සමාගමේ හිමිකාරිත්වය හිමිව ඇත්තේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බව පැවසෙන ඇලෝසියස්හටයි.

අර්ජුන ඇලෝසියස් යනු මහ බැංකු වංචාවට ප්‍රධාන චුදිතයා ලෙස සැලකෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑණා ද වනවා.

2018 වසරේ සිට මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා ලබා දී තිබු අවසරය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කළේ බදු ගෙවීම් පැහැර හැරීම හේතුවෙන්.

කෙසේ වෙතත් පසුගියදා මෙන්ඩිස් සමාගමට මත්පැන් නිෂ්පාදනය සඳහා යළි අවසර ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණා.

රජයට ගෙවිය යුතු හිඟ බදු ප්‍රමාණය වසර 02 ඇතුළත ගෙවා අවසන් කිරීමේ එකඟතාව මත සමාගමට අවසරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

එම හිඟ මුදල රජයට ගෙවීමට එකඟ වීම හේතුවෙන් මුදල් අමාත්‍යාංශය සමඟ කරන ලද සාකච්ඡා කර අවසර ලබාදුන් බවයි සුරාබදු අධිකාරියේ ප්‍රකාශකයෙක් කියා සිටියේ.