Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ජනපති ආරාධනාවෙන් දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ පළමු ආයෝජනය සිදු කරයි

By News Team on October 3rd, 2021 in Exclusive Story

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාවට ගොස් කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකින් කියැවුණේ දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට තමන් සූදානම් යැයි කියාය.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් දෙමළ ඩයස්පෝරාවේ නායකයන් වන සුරේන් සුරේන්දිරන් සහ වී. රුද්‍රකුමාරන් ඊට මිශ්‍ර ප්‍රතිචාර දක්වා තිබූ ආකාරය පසුගිය සතියේදී ‘රාජ්‍ය රහස්’ තීරය තුළින් අපි අනාවරණ කර සිටියෙමු.

ඒ ආකාරයට ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට දෙමළ ඩයස්පෝරාවෙන් මිශ්‍ර ප්‍රතිචාර ලැබුණත් එම ප්‍රකාශයෙන් පසු දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන ප්‍රබලයකු වන අලිරාජා සුබාෂ්කරන් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට යහපත් ප්‍රතිචාර දැක්වීමට පියවර ගෙන තිබිණි.

ඒ, ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනීමට තීන්දු කිරීමත් සමගය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව සිය පළමු ආයෝජනය සුබාෂ්කරන් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ යාපනය කණ්ඩායම වූ ‘ජැෆ්නා ස්ටැලියන්ස්’ කණ්ඩායම මිලදී ගැනීමට පියවර ගත්තේය.

මේ, අලිරාජා සුබාෂ්කරන් යනු ඇමෙරිකාවේ ලයිකා මොබයිල් සමාගමේ හිමිකරුය. ඉකුත් යහපාලන ආණ්ඩු සමයේදී ලංකාවේ ආයෝජන සිදුකිරීමට අලිරාජා සැරසෙද්දී වත්මන් අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ හෙතෙම ‘මහ කොටියකු’ බවත්, ලොව පුරා කොටි සල්ලි ආයෝජනය කිරීමට අලිරාජා කටයුතු කරන බවත්ය.

ඒ අනුව අදාළ ආයෝජන සිදුකිරීමට අලිරාජාට එවකදී හැකියාව ලැබුණේ නැත.

නමුත් දැන් විමල් ආණ්ඩුවේ අමාත්‍යවරයකුව සිටියදීම අලිරාජා සිය පළමු ආයෝජනය ලංකාව තුළ සිදුකර තිබේ.

නමුත් විමල් නම් තවමත් ඒ ගැන කටක් ඇර වචනයක් කී ආකාරයක් දැකගන්නට නැත.

රාජ්‍ය රහස් තීරය – මව්රට