Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

විදේශ ඇමති සහ යුරෝපා සංගමය අතර සාකච්ඡා පැවැත්වේ

By News Team on October 2nd, 2021 in Local

ශ්‍රී ලංකා රජය විසින් GSP+ බදු සහනය ශ්‍රී ලංකාවට අඛණ්ඩව හිමිවීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය යුරෝපා සංගමය දැනුවත් කර තිබෙනවා.

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ යුරෝපා සංගමයේ නියෝජිතයින් අතර ඊයේ (01) පැවැති සාකච්ඡාවේදී මේ බව දැනුවත් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

සංහිඳියාව පිළිබඳ ප්‍රගතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම, සිවිල් සමාජය සමඟ කටයුතු කිරීම, තිරසාර සංවර්ධන ඉලක්ක 16 මුලපිරීම සහ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සහයෝගයෙන් යුතුව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී යුරෝපා සංගම් නියෝජිත පිරිස දැනුවත් කෙරුණා.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය යුරෝපා සංගමය හේතුවෙන් රටේ ප්‍රජාවන්ගේ ජීවනෝපාය මාර්ග ඉහළ නැංවීමේදී යුරෝපා සංගම් GSP+ ප්‍රතිලාභවල ධනාත්මක දායකත්වය පිළිබඳ විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී, ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින බහුවිධ බැඳීම් යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම විසින් පිළිගත් බවත් අඛණ්ඩව සහයෝගිතාව ලබා දෙන බවට සහතිකවූ බවයි.