Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකන් ගුවන් සමාගම අද කෝප් කමිටුව හමුවට

By News Team on July 6th, 2021 in Local

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්ථමාන කාර්ය සාධන විමර්ෂණය කිරීම සඳහා අද (06) දිනයේදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හේවා කෝප් කමිටුව වෙත කැඳවා තිබෙනවා.

මීට අමතරව හෙට (07) දිනයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මෙන්ම 08 වනදා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ද කෝප් කමිටුව වෙත කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

කෝප් කමිටුවට අමතරව පාර්ලිමේන්තු කාරක සභා සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැසක් මෙම පාර්ලිමේන්තු සතිය තුළදී රැස්වීමට නියමිතයි.

හෙට (07) දිනයේදී පාර්ලිමේන්තුවේ උසස් නිල තල පිළිබඳ කාරක සභාව සහ මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ මැතිවරණ නීති රීති වලට යෝජිත ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වෙනු ඇති.

මේ අතර අද (06) පාර්ලිමේන්තුව යළි රැස්වෙනවා.

ඒ අනුව අද (06) සිට ලබන සිකුරාදා තෙක් පාර්ලිමේන්තු සභා වාරය පැවැත්වෙන අතර අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත, වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඩුවම්වලට එරෙහි වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත විවාද කිරීමට නියමිතයි.

එමෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පණත යටතේ නියමයක් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාර්යාලයේ සාමාජිකයන්ගේ මාසික වැටුප් සහ දීමනා වැඩිකිරීමට අදාළ යෝජනාවක්ද විවාදයට ගැනෙනු ඇති.