Channel4.lk

Sri Lankan Latest Sinhala News Portal

ශ්‍රී ලංකාව අපරාජිතව සුපිරි 12 වටයට පිවිසෙයි

By News Team on October 23rd, 2021 in Sport

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 12 වටයට අපරාජිතව සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (22) සමත් වුණා.

ඒ සුදුසුකම් ලබා ගැනීමේ වටයේ පැවැති අවසන් තරඟයෙන් නෙදර්ලන්තය කඩුලු 8කින් පරාජයට පත් කරමින්.

සුදුසුකම් ලබා ගැනීමේ වටයේ දී A කාණ්ඩයේ පළමු ස්ථානය තහවුරු කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 වටයට සුදුසුකම් ලැබූ අතර එම වටයේ දී ශ්‍රී ලංකාව තරඟ වදින්නේ පළමු කාණ්ඩයෙනි.

ශ්‍රී ලංකාවට එම ඛණ්ඩයේ දී බංග්ලාදේශය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සමඟ තරඟ වැදීමට සිදුවනු ඇති.

ශ්‍රී ලංකාව ඊයේ (22) සජාහි පැවැති තරඟයේ කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

මේ අනුව පිටියට පිවිසි නෙදර්ලන්තය පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ දැඩි අසරණ වනු දක්නට ලැබුණා.

පන්දුවාර 10ක් තුළදී නෙදර්ලන්ත කණ්ඩායමේ සියලු පිතිකරුවන් ලකුණු 44කට දැවී ගිය අතර එය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියකදී වාර්තා වූ දෙවැනි අවම ලකුණු ලෙසයි සැලකෙන්නේ.

2014 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියක අවම ලකුණු සංඛ්‍යාව වාර්තා කර ඇත්තේ ද නෙදර්ලන්ත කණ්ඩායම වන අතර එය ද ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3ක් ද ලහිරු කුමාර කඩුලු 3ක් ද මහේෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ලකුණු 45ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කර යාමට සමත් වුණා.